අදුරු පැහැවූ තොල් රෝස පැහැ කරන අති සාර්ථක ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම 10ක්

ඉරි තැලුණ, අවපැහැ ගැනුවුණ දෙතොල් වලට හේතු බොහොමයක් තියෙනවා. මුහුණේ සමටත් වඩා තොල්වල සම බොහොම තුනීයි. දාඩිය දාන්න හේතුවන ස්වේද ග්‍රන්ථි තොල්වල නැති නිසා ඒවාට විශේෂයෙන් සත්කාර කරන එක වැදගත් වෙනවා. තොල් පෙති පැහැපත් නම් ඔබේ මුහුණ තවත් පැහැපත් වෙනවා.

තොල් පෙති කලුපාට වීමට බලපාන හේතු කිහිපයක් නම් නිසි පරිදි ආහාර ගන්නේ නැතිකම සහ මානසික ආතතිය , ප්‍රමාණවත් තරම් වතුර බොන්නෙ නැතිකම, ඕනෑවට වඩා කෝපි පානය කරන එක, කල් ඉකුත්වුණු හෝ බාල, මිල අඩු තොල් අාලෝපන පාවිච්චිය, රෑට මේකප් සෝදන්නේ නැතිව නිදාගන්න එක, ශරීරයේ ලේ අඩුකම, නිතර අව්වේ යෑම

තොල් දුර්වර්ණ වෙන්නත්, ඉරි තැලෙන්නත් ගොඩක් බලපානවා. කාර්යබහුල ජීවිතයත් එක්ක නිතරම තොල් ගැන හිතන්න බැරි නිසා SPF අඩංගු ලිප් බාම් එකක් ආලේප කළාම තොල් වේලෙන එක නවත්ව ගන්න පුළුවන්. ඒත් තොල් වෙනුවෙන් කරන්න ඕන තව ගොඩක් දේවල් තියෙනවා. අපි දැන් ඒ දේවල් මොනවාද කියලා සොයා බලමු. මේවා ගෙදරදීම කරන්න පුළුවන් ඒවා වගේම පහසුවෙන් සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් හදන දේවල් නිසා ඔබට ලොකු පහසුවක් සහ වාසියක් ලැබේවි.

කෝමාරිකා
බොහොම පහසුවෙන් සොයාගන්න පුළුවන් කෝමාරිකා සහ පොල්තෙල් වලට දෙතොලට තෙතමනයක් සහ වියළීම නිසා ඇතිවන පැලීම් සුවකරලා ලස්සන, සුසිනිඳු බවක් ලබා දෙන්න සමත් වෙනවා. මේක ගෙදරදි අපිටම හදාගන්න පුළුවන් ලිප් බාම් එකක් වගෙයි. ඒ අපූරු කෝමාරිකා මාස්ක් එක හදන්නේ මෙහෙමයි. කෝමාරිකා කොළයක් අරගෙන මැදින් කපන්න. ඊට පස්සේ හැන්දකින් මදය සූරලා අරගෙන වීදුරු භාජනයකට දාලා පොල්තෙල් බිංදු කීපයක් එකතු කරන්න. හදාගත්ත මිශ්‍රණය දැන් ලිප් බාම් එකක් වගේ ආලේපනය කරන්න. ඉතිරි ටික ෆ්‍රිජ් එකේ දාගත්තාම දිගටම පාවිච්චි කරන්නත් පුළුවන්.

මේ සත්කාරය දවසකට කිහිපවරක් වුණත් කළාට කමක් නැහැ. පැළුණු දෙතොල් සුව කරන්න මෙයට අපූරු හැකියාවක් තියෙනවා. කෝමාරිකා වල තියෙන ජිබරින් සහ ඔක්සීන් කියන හෝර්මෝන වලට ප්‍රදාහ තත්ත්වයන් සුව කරන්න පුළුවන්. ඒ වගේම එහි තියෙන විටමින් අපේ දෙතොලට තෙතමනය සහ පෝෂණය ලබා දෙනවා. අපි මෙහිදී මාධ්‍යය විධියට පොල්තෙල් පාවිච්චි කළත් තෙතමනය රඳවා ගන්න ඒකත් උදව් වෙනවා.

දෙළුම් ඇට
දෙළුම් කියන්නේ සෞඛ්‍යයට හොඳ, ගුණ පලතුරක්. ඒත් ඉතුරුවන ඇට වලින් කළු පැහැති දෙතොල රෝස පැහැයට පත් කරන්න මෙහෙම කරන්න. දෙළුම් ගෙඩියක් කපලා අරගෙන ඇට ටික හොඳින් අඹරා ගන්න. ඒවා ක්‍රීම් එකක් එක්ක කලවම් කරලා පේස්ට් එකක්, ඒ කියන්නේ තලපයක් හදාගන්න. දෙතොල හොඳින් පිරිසිදු කරලා මේ මාස්ක් එක ආලේප කරලා විනාඩි 10ක් විතර තියෙන්න හරින්න. ඊට පස්සේ මඳ උණු වතුරෙන් සෝදලා දාන්න.

සතියකට දෙතුන් පාරක් මේ විධියට කළාම අවපැහැ ගැන්වුණු දෙතොලට ස්වාභාවික පැහැය නැවත ලබා ගන්නට පුළුවන් වෙනවා. දෙළුම් වල තියෙන ප්‍යුනිකැලජින්ස් (punicalagins) වලට තොල් කළුවීමට බලපාන සමේ මෙලනින් නිෂ්පාදනය අඩු කරන්න පුළුවන් නිසා තමයි මේ සත්කාරය වැදගත් වෙන්නේ.

මී පැණි සහ ලෙමන්
තේ කොළයි සීනියි වගේ එකටම ගැලපෙන මී පැණි සහ ලෙමන් කියන්නේ ගෙදරදීම හදාගන්න පුළුවන් අපූරු සංයෝගයක්. මොකද දන්නවද, මී පැණි වලින් සමට තෙතමනයත්, ලෙමන් වලින් ස්වාභාවික බ්ලීචර් එකකුත් ලැබෙනවා. වීදුරු භාජනයකට මී පැණි තේ හැන්දකට ලෙමන් ජූස් තේ හැඳි බාගයක් වෙන්න දාලා කලවම් කරන්න. දැන් මේ මාස්ක් එක විනාඩි දහයක් විතර දෙතොලේ ආලේප කරලා විනාඩි 10ක් 15ක් තියෙන්න හරින්න. අවසානයේ මඳ උණු වතුරෙන් සෝදලා ලිප් බාම් ආලේප කරන්න.

මෙය හොඳ ප්‍රතිපල ලැබෙනකම් දිනපතා වුවත් කරන්නට පුළුවන් දෙයක්. මී පැණි කියන්නේ ස්වාභාවික මොයිස්චරයිසර් එකක්. ඉතින් දෙතොලට අවශ්‍ය තෙතමනය ලබා දෙන්න එයට පුළුවන්. ඒ අතරේ ලෙමන් වලින් ස්වාභාවික බ්ලීච් එකක් ලැබෙන නිසා අවපැහැ ගැන්වීම් නැති වෙනවා. ඒ නිසා හැකි හැම දිනකම කරන්න පුළුවන් නම් හොඳයි.

රෝස පෙති
තොල් පෙති රෝස පෙති වලට නිතරම උපමා කරනවානේ. ඒත් දුර්වර්ණ වුණු තොල් පෙති වලට රෝස පෙති වලින් රෝස පැහැය ගන්න පුළුවන් බව නම් දැනගෙන ඉන්න නැතුව ඇති. හැමෝගේම ආසාව වන රත් පැහැ දෙතොලක් ලබා ගන්න රෝස පෙති පහ-හයක් තිබුණාම ඇති. ඒ වගේම කිරි කෝප්ප බාගයකුත් අපිට අවශ්‍ය වෙනවා. කිරි කෝප්පයට රෝස පෙති ටික දාලා රැයක් එළි වෙනකම් තියන්න. ඊට පස්සේ උදේට රෝස පෙති කෝප්පයෙන් අරගෙන තලන්න. ඒකට ගෙදර තියෙන පුංචි මෝල්ගහක් වගේ උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඇඟිලි තුඩු වලින් හොඳින් පොඩ් කරන්න. දැන් ඒකට අර කිරි ස්වල්පයකුත් එකතු කරලා තලපයක්; පේස්ට් එකක් වගේ හදාගන්න. ඒක විනාඩ් 15ක් විතර තොල්වල ආලේප කරලා තියලා ඇල් වතුරෙන් හෝදලා දාන්න.

මෙය බොහොම මෘදු සත්කාරයක්. ඒ නිසා ඒක දිනපතා වුණත් කරන එකේ ගැටළුවක් නැහැ. කිරි වලින් තොල් වලට හොඳ ස්වාභාවික තෙතමනයක් ලැබෙනවා. රෝස පෙතිවල තියෙන ස්වාභාවික තෙල් වර්ග සහ සීනි අපේ තොල්වල වේළුණු සමේ තෙතමනය රඳවා ගන්න උදව් වෙනවා. ඒ වගේම රෝසවලට ප්‍රදාහයන් සුවපත් කරන්නටත් පුළුවන්.

ලිප් බාම් සහ ටූත්බ්‍රෂ්
හෙඳට ඝන ලිප් බාම් එකක් තෝරගෙන තොල්වල ඒක ඝනට ආලේප කරන්න. නිදාගන්න කලින් මේක කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. උදේට නැගිට්ටාම ඔබට දැනේවි තොල් වලින් ලිප් බාම් එක අවශෝෂණය කරගෙන තිබෙන බව. දැන් ඔබේ තෙමපු දත් බුරුසුවෙන් මෘදුව දෙතොල මසාජ් කරන්න. එතකොට මැරුණු හම ඉවත් වෙනවා. දත් බුරුසුවක් වෙනුවට අවශ්‍ය නම් තෙමපු රෙදි කැබැල්ලක් වුණත් කමක් නැහැ.

තෙතමනය ලබාදෙන මොයිස්චරයිසර් එකක් වගේම ලිප් බාම් එකත් දෙතොලට අත්‍යාවශ්‍යයි. ඔබට දිනපතාම මේ විධියට නිදාගන්න කලින් ඝනට ලිප්බාම් ආලේප කරලා උදේට මෘදුව මසාජ් කළාම මෘදු දෙතොලක් ලබා ගන්න පුළුවන්. විටමින් ඊ සහිත ලිප් බාම් එකක් තෝරගන්න පුළුවන් නම් පෝෂණ සත්කාරයකුත් ලබාගන්න පුළුවන්.

කොකෝවා සහ චොක්ලට්
ඇයි බොන්න තියෙන බෙහෙත් තිත්ත? ඒත් ඔන්න අපි ඔබට රසම රස ප්‍රතිකාර ක්‍රමයක් ගැන කියලා දෙන්නයි හදන්නේ. චොක්ලට් කියන්නේ වේළුණු, විජලනය වුණු තොල් වලට බොහොම හොඳ සත්කාරයක්. අපිට මේකට ඕන වෙනවා කොකෝවා බටර් තේ හැන්දක්, චොක්ලට් කෑලි දෙකක් සහ විටමින් ඊ කරලක්. ඒ චොකලට්, රස නොකරපු ඒවා නම් ශරීරයට හොඳයි. ඩාර්ක් චොක්ලට් නම් වඩාත් හොඳයි. ඉතින්, කොකෝවා බටර් එක්ක චොක්ලට් ටික උණු කරගන්න. විටමින් ඊ කරල සිදුරු කරලා ඒකෙ තිබෙන තෙල් සාරය මිශ්‍රණයට එකතු කරගෙන කලවම් කරන්න. දැන් ගින්දර අයින් කරලා සීතල වෙන්න ඉඩ දෙන්න. අවශ්‍ය නම් සිසිල් වෙන එක ඉක්මන් කරගන්න ටිකක් නිවුණාට පස්සෙ ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන්. හොඳටම නිවුණාම මිශ්‍රණය තොල් දෙකේ හොඳින් ආලේපනය කරන්න. විනාඩි 10ක් 15ක් තියෙන්න හැරලා මඳ උණු වතුරෙන් සෝදා හරින්න.

දෙතොලේ තියෙන වියළුණු බව නැති කරන්න චොක්ලට් සහ කොකෝවා බටර්වල තියෙන ප්‍රතිඔක්සිහාරක වලට පුළුවන්. දවස අතරතුරේදි ඔබේ දෙතොල් වියළුණු බවක් දැනෙන වෙලාවල් වලදි මේ ආලේපනය අරගෙන ගල්වන්න. ඔබ සුමුදු විතරක් නෙවෙයි රස තොල් පෙති දෙකකුත් ලැබේවි.

බීට්රූට් ලිප් බාම්
ස්වභාවික වර්ණය වගේම සෞඛ්‍යයට හිතකර බව නිසාම බීට්රූට් හොඳ රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක් විධියට සලකනවා. ඒකෙන් ලිප් බාම් එකක් අපිම හදාගත්තාම ඒක ටිකක් ලිප්ස්ටික් එකක් වගෙත් තොල් වලට පැහැයක් ලබා දෙනවා. හදන්නෙ මෙහෙමයි:
මුලින්ම අපිට බීට්රූට් පවුඩර් හදාගන්න වෙනවා. ඒකට බීට්රූට් පෙති කපලා, අව්වෙ වේලලා අරගෙන බ්ලෙන්ඩර් කළාම හරි. එයින් තේ හැඳි බාගයක් වෙන් කරගන්න. තව අපිට බටර් මේස හැන්දක්, ඔලිව් තෙල් තේ හැඳි දෙකක්, මී වදවල තියෙන ඉටි කොටස් වලින් මේස හැන්දක් අවශ්‍ය වෙනවා.

මුලින්ම වීදුරුවකට බටර්, ඔලිව් තෙල් සහ මී ඉටි එකතු කරන්න. වතුර පුරවපු සාස්පානක් රත් වෙන්න තියලා මේ වීදුරු බඳුන ඒක මැදින් තියන්න. ඇතුලෙ තියෙන දේවල් හොඳින් දියවෙද්දිම කලවම් කරන්න. දැන් බීට්රූට් පවුඩර් ටික එකතු කරලා නැවත හොඳට කලවම් කරන්න. ඊට පස්සේ වීදුරු භාජනය එළියෙන් තියලා සෙට් වෙන්න ඉඩ හරින්න.

මේක ලිප් බාම් එකක් නිසා ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ලැබෙන රත් පැහැ වර්ණය ඔබට ගැලපෙනවා නම් ලිප්ස්ටික් ඕන වෙන එකකුත් නැහැ. බටර් වලින් විටමින් ඒ සහ ඊ ලැබෙන නිසා ඉරි තැළුණු දෙතොල් සුවපත් වෙනවා. ඔලිව් ඔයිල් ස්වාභාවික කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරද්දී බීට්රූට් වල තියෙන ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රදාහ තත්ත්ව පාලනය කරන සංයෝග අවපැහැ ගැන්වුණු දෙතොල් වලට වර්ණය ලබා දෙනවා. මී ඉටි ආරක්ෂක ආවරණයක් බවට පත්වෙලා දෙතොල බාහිර පරිසරයෙන් ආරක්ෂා කරදෙනවා.

සීනි සහ පොල්තෙල් ස්ක්‍රබ්
මැරුණු සම ඉවත් කරන එක සමට අත්‍යාවශ්‍යම දෙයක්. අලුත් සමට පිටතට එන්න ඒක උදව්වක් වෙනවා. සීනි එක්ක තෙල් වලින් අපි මේ හදාගන්න ස්ක්‍රබ් එකෙන් අතුරු වාසි රැසකුත් ලබාගන්න පුළුවන්. මේස හැන්දක සීනි අරගෙන ඒකට පොල්තෙල් එකතු කරගන්න. වර්ජින් මට්ටමේ පොල්තෙල් නම් වඩාත් හොඳයි. නැත්නම් ඔලිව් ඔයිල් පාවිච්චි කරන්නටත් පුළුවන්. භාජනේක මේ දෙක එකතු කරලා කලවම් කරගන්න. දැන් ඉන් ස්වල්පයක් අරගෙන හොඳින් තොල්වල රවුමට-රවුමට ආලේපනය කරන්න. තෙතමනය තියෙන රෙදි කෑල්ලකින් ඒ ටික පිසදාලා ලිප් බාම් එකක් ආලේප කරන්න.

සතියකට දෙවරක් විතර මේ ස්ක්‍රබ් එක කරන එක හොඳයි. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් නිසා එවෙලෙම හදාගන්නත් පුළුවන්. සීනිවල තියෙන තෙතමනය රඳවා ගැනීමේ ගතිය නිසාත් මැරුණු සම ඉවත් වන නිසාත් දෙතොලට ඉන් හොඳ පිරිසිදු කිරීමක් ලැබෙනවා. පොල් තෙල්වල වලින් පෝෂණයත් තෙතමනයත් දෙතොලට ලැබෙනවා. ස්ත්‍රී පුරුෂ දෙගොල්ලටම මේක හොඳ සත්කාරයක්.

ලෙමන් සහ ග්ලිසරින්
හොඳටම වේළුණු, සම ගැලවෙන, අවපැහැ ගැන්වුණු දෙතොලකින් පීඩා විඳින කෙනෙක්ට මේ සත්කාරය හොඳින්ම ගැලපෙනවා. ලෙමන් යුෂ තේ හැන්දක්, ග්ලිසරින් තේ හැන්දක් අපිට මේකට අවශ්‍ය වෙනවා. ඒ දෙක හොඳට කලවම් කරලා භාජනේක දාලා ෆ්‍රිජ් එකේ දාගත්තාම සතියක් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. හදාගත්ත මිශ්‍රණය බ්‍රෂ් එකකින් හරි ඇඟිල්ලෙන් හරි හොඳින් තොල්වල ආලේප කරන්න.

දිනපතා පාවිච්චි කළාම ඉක්මණටම වේළුණු දෙතොල් සුවපත් කරගන්න පුළුවන් වේවි. ග්ලිසරින් කියන්නේ හොඳ මොයිස්චරයිසර් එකක්. ඒවායෙන් තොල් වලට හොඳ තෙතමනයක් ලැබිලා මෘදු, පෘෂ්ටිමත් ගතියක් ලැබෙනවා. ලෙමන් යුෂ වලින් අවපැහැ ගැන්වුණු තැන් අපි කලිනුත් කිව්වා වගේ ස්වාභාවික බ්ලීච් එකක් විදියට ක්‍රියා කරනවා.

කිරි සහ කහ කුඩු ස්ක්‍රබ්
අව පැහැය ගැන්වුණ, දුර්වර්ණ වුණු දෙතොල් වලට නැවුම්, ස්වාභාවික රෝස පාටක් ලබා ගන්න කහ කුඩු ස්ක්‍රබ් එක පාවිච්ච කරන්න පුළුවන්. සීත කරපු කිරි වලින් තේ හැන්දකට කහ කුඩු තේ හැඳි බාගයක් එකතු කරලා තලපයක් වගේ හදාගන්න. මිශ්‍රණය දෙතොල්වල ආලේප කරලා විනාඩි 5ක් 6ක් තියන්න. හොඳට වේලුණාට පස්සේ ඇඟිල්ලෙන් හෝ මෘදු කෙඳි තියෙන බ්‍රෂ් එකකින් රවුමට අතුල්ලමින් ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ මඳ උණු වතුරෙන් සෝදලා දාන්න.

ඉඩ ලැබෙන දවස්වල මේක කරද්දී බොහොම කෙටි කාලයකින්ම ඔබට ලොකු වෙනසක් අත්දකින්න ලැබේවි. මොකද, කහ කුඩුවල තියෙන සුවපත් කිරීමේ හැකියාවත්, කිරිවල ස්වභාවික මොයිස්චරිසර් ගුණයත් එකතු වෙලා තමයි ඒ මැජික් එක කරන්නේ.

Add Comment