අවුරුදු කෑම මේසයට රසම රස පළතුරු කේක් එකක් හදන්නේ මෙහෙමයි

අළුත් අවුරුද්ද අපි සියලූ දෙනාම උත්සවාකාරයෙන් සමරන දවසයි. වෙනදාට නැති විශේෂත්වයක් නැවුම් බවක් මුලූ නිවෙස පුරාම් තිඛෙනවා. නිවෙසේ පැහැය අලූත් වෙලා. අලූත් තිර රෙදි දමලා. ඒ විතරක් නෙමේ මුළුතැන් ගෙයිනුත් එන්නේ වෙනදාට නැති මිහිරි, ප්‍රණීත සුවඳක්.

ඇත්තටම එදාට තේ මේසය කෑම මේසය හරි සරුසාරයි. ඉතින් මේ තේ මේසයට වෙනත් කැවිලි, කෙසෙල් ආදිය එක්ක කේක් එකක් තියනවමයි. මෙවර අපි 2018 අවුරුදු තේ මේසයට පවුලේ අයට සහ එන අමුත්තන්ට සංග්‍රහ කරන්නට පලතුරු කේක් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250 යි
පාන්පිටි ග්‍රෑම් 250 යි
බිත්තර 04 යි
බටර් ග්‍රෑම් 250 යි
කජු ග්‍රෑම් 50 යි
ප්ලම්ස් ග්‍රෑම් 50 යි
පුහුල් දෝසි ග්‍රෑම් 50 යි
රතු පාට චෙරි ග්‍රෑම් 50 යි
කොල පාට චෙරි ග්‍රෑම් 50 යි
බේකින් පවුඩර් තේහැඳි 02 යි
කෝන් පිටි මේසහැඳි 02 යි
වැනිලා තේහැඳි 02 යි
කිරිපිටි මේසහැඳි 02 ක් උණුවතුර මේසහැඳි 03 ක දියකර ගන්න

සාදන ක්‍රමය

කජු, පුහුල් දෝසි ඇතුළු පලතුරු සියල්ල කුඩාවට කැබලි වලට කපා ගන්න. එසේ කපාගත් පලතුරු කෝන් පිටිවල හොඳින් තවරා පැය 2 ක් පමණ වේලා තිඛෙන්නට හරින්න.

ඒ අතරේ වෙනම භාජනයක් ගෙන ඊට බටර්, සීනි දමා හොඳින් බීට් කරන්න.

ඊට බිත්තර ද එකින් එක එක්කර බීට් කරන්න. බේකින් පවුඩර් දමා තුන්වරක් හලාගත් පාන්පිටි අවස්ථා තුනකදී බටර් මිශ්‍රණයට එක්කර අනාගන්න.

අවසානයේදී ඔබ කෝන් පිටිවල දවටාගත් පලතුරු ටික කේක් මිශ්‍රණයට එක්කර අනාගන්න. ඉතා සුලූ වශයෙන් අනාගන්න. මෙහෙම කළාම පලතුරු කැබලි කේක් මිශ්‍රණයේ අඩියට බහින්නේ නැහැ.

දැන් ඔබ කේක් මිශ්‍රණය සාදා අවසන්. එය බේක් කර ගැනීමට අඟල් 9 – 9 තැටියක් ගෙන ඔයිල් පේපර් දමා සකසා, ඊට කේක් මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක් උණුසුම් වූ උඳුනක විනාඩි 35 ත් 45 ත් අතර ප්‍රමාණයක් පුළුස්සා ගන්න.

මෙසේ සාදාගත් පලතුරු කේක් එක මෙවර අවුරුදු තේ මේසයට නිවෙසේ සියල්ලෝම සමඟ රස විඳින්න.

එහෙනම් මේ රෙසිපි එක ගැන ඔබේ මිතුරු මිතුරියන්වත් දැනුවත් කරන්න. ඔබට සුබ දවසක් !!!

Add Comment