ආබාධිත පුද්ගලයන් රැක බලා ගත යුතු අයුරු

අපගේ අතපයවල වටිනාකම දැනෙන්නේ එහි කිසියම් ආබාධයක්‌ ඇතිවූ විටදීය. අතපය තුවාල වූ විට කැඩී බිඳී ගිය විට එදිනෙදා සාමාන්‍ය කටයුතු කරගත නොහැකි වන විට අතපයේ නිරෝගී බවෙහි ඇති අගය දැනේ. එසේ නම් උපතින්ම ආබාධ වූ අයට, යම් අනතුරක්‌ නිසා සදාකාලිකවම ආබාධිත තත්ත්වයට ලක්‌වූවන්ට, වයසට යන විට ආබාධ තත්ත්වයන්ට පත්වූවනට අප කෙතරම් සැලකිල්ලක්‌ දැක්‌විය යුතු නොවේද?

ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද?

ඉතා සරලව හැඳින්වුවහොත් ප්‍රධාන වශයෙන් කිහිලිකරු, කෘත්‍රිම පාදයත්, ඇවිදීම් රාමුවත්, සැරයටියක්‌, රෝද පුටුවත් භාවිත කරන අය ආබාධිත තැනැත්තකු ලෙස හැඳින්විය හැකි අතර ඇස්‌ නොපෙනෙන, කන් ඇසෙන සහ ශාරීරික දුබලතා සහිත වයෝවෘද්ධ බවට පත් වූ තැනැත්තකු එනමින්ම හැඳින්විය හැකිය. තවදුරටත් පැහැදිලි කරතොත් මේ කියවන ඔබත්, මමත් ජීවිතයේ කවර හෝ දිනක මේ තත්ත්වයට අයිති වන බවද කිව යුතුය.

එවැනි අයට ලංකාවේ ප්‍රවේශ පහසුකම් ගැන සෑහීමකට පත්විය හැකිද?

ප්‍රවේශ පහසුකම් යන වැකිය ගැන සරලව සොයාබැලුවහොත් පඩිපෙළවල්, දොරවල්, නාන කාමර, කොරිඩෝ, තරප්පු, ගෙදර බිම මෙන්ම වැඩකරන මේසවල, කුස්‌සියේ ඇති සින්ක්‌, කන්නාඩි, ජනෙල් ආදියේ මට්‌ටම් පිළිබඳ විවිධ දේ දැන ගැනීම සඳහාත් ඇති නාමපුවරුවල නිමාව පිළිබඳවත්, පොදු මංමාවත්වල පාර හරහා මාරුවීමට තනා ඇති ස්‌ථාන පොදු ගමනාගමනයට, පොදු නිවාස ගැනත් අපේ විශේෂ අවධානය ලක්‌කළ යුතුයි.

නූතන ලෝකයේ ආබාධිත අයගේ ප්‍රවේශ පහසුකම් සඳහා ඇති පිළිතුර වන්නේ Normalization හෙවත් සාමාන්‍යකරණය යි. එනම් ආබාධිත අයටත් විශේෂ විදියට නොසලකා සාමාන්‍ය අන්දමින්ම සැලකීම ආකල්පයයි. ඒ සඳහා (සාමාන්‍යකරණය) සඳහා බාධකවලින් තොර (Barrier free environment) වටපිටාවක්‌ නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා සැලසුම් ශිල්පීන් සහ වෛද්‍යමය දැනුම තිබිය යුතු වෘත්තිකයාගේ සම්බන්ධතාවය අනිවාර්ය වේ.

එසේම වටපිටාවේ ආබාධිත තැනැත්තා ස්‌වාධීන කිරීම සඳහා ප්‍රවේශ පහසුකම් ප්‍රමාණවත් නොවන අතර ශක්‌තිය අඩුවෙන් වැය කිරීම ආදිය සඳහා ආදේශක මෙන්ම ආබාධිත තැනැත්තාට පූර්ණ වශයෙන් සංවේදීතාවයෙන් සමායෝජකතාවයෙන් ශක්‌තිමත් බවින් අඩු බැවින් හදිසි අවස්‌ථාවකදී ඊට ක්‌ෂණිකව ප්‍රතිචාර දීමට අපහසු නිසා ඒවාටද පිළියම් යෙදෙන අයුරින් සැලසුම් යෙදීම අත්‍යවශ්‍ය වේ.

එබැවින් ප්‍රවේශ පහසුකම් සඳහා අවශ්‍ය නිර්මාණ කිරීමේදී ආබාධිත අයගේ රෝග නිර්ණය (Diagnosis) නොහැකියාව, ආබාධය, ආබාධිතයාගේ කාලසීමාව සහ සුවවීමට ඇති ප්‍රවණතාව, පැළඳ සිටින උපකරණය, සමායෝජකතාව, චලන රටාව, සමබරතාව ආදී වෛද්‍යමය පසුබිම් සහිතව කරුණු ගැන ද පොදුවේ කල්පනා කිරීම අත්‍යවශ්‍ය වේ. මේ කරුණු දෙස බැලූ කල ප්‍රවේශ පහසුකම් සඳහා පහත සඳහන් වන සැලැස්‌මවල් සහ යෝජනා බොහෝ දුරට නිවැරැදි වේ.

ඇතුළුවන දොරටුවේ පළල අඩුම වශයෙන් අඩි 3 ක්‌ ප්‍රමාණවත් විය යුතු අතර එම දොර අංශක 180 ප්‍රමාණයට විවෘත කළ හැකිවිය යුතුය.

දොරෙන් ඇතුළත මෙන්ම දොරෙන් පිටතද පොළොව එක සමාන මට්‌ටමේ පැවැතිය යුතුය.

ගෙදර අංකය පැහැදිලි ලෙස මෙන්ම විශාලව දොර ඉදිරිපස දර්ශනය විය යුතු අතර (Luminus) රාත්‍රි කාලයේ දී දර්ශනය කිරීමට හැකි විය යුතුය. ඇස්‌ නොපෙනෙන අය සඳහා මේ ඉලක්‌කම් පිටට නෙරා සිටින සේ (Raised Numbers) සකස්‌ කළ යුතුය.

ඇරෙන දොරවල්වලට වඩා හැකි සෑම විටම සමාන්තරව තල්ලුවන (Sliding door) දොරවල් සැකසීමට පියවර ගත යුතුය.

දොර හැඬලයක්‌ සෑම විටම විශාල විය යුතු අතර සරල විය යුතුය (ලීවරයක්‌ මෙන්).

පොළොව සෑම විටම ලිස්‌සන ගතියෙන් තොර විය යුතුය. ගැටිතිවලින්, උස්‌ පහත් වීම්වලින් තොරවිය යුතුය. රළු පිඟන් ගඩොල් යෙදීම සුදුසුය. එසේම විශාල ප්‍රමාණයේ නොවන කෙටි ප්‍රමාණයේ (1′ x 1′) වැනි පිඟන් ගඩොල් යෙදීම සුදුසුය.

එසේම පොළොව සඳහා 0.5″ කට වඩා ඝනම සහිත සාමාන්‍ය රළු කාපට්‌ නිර්දේශ කළ හැකිය.

විශේෂයෙන්ම පඩිපෙළවල් භාවිත කිරීමට වඩා ආනත තලය භාවිත කිරීම (Ramp) කෘත්‍රිම පාද, කිහිලිකරු, සැරයටි භාවිත කරන අයට සුදුසු වේ.

පඩිපෙළවල් තිබේ නම් සෑම පඩි 2 කටම වරක්‌ නැවතී ගිමන් හැරීමට විශාල පළල සහිත පඩියක්‌ නිර්දේශිතයි. පඩියක උස අඟල් 6 සහ පළල අඟල් 11 ප්‍රමාණවත් වීම අනිවාර්ය වේ. පඩියේ දාරය පැහැදිලිව පෙනෙන ලෙස වර්ණයකින් (Luminus) ආලේප කළ යුතුය. අත් ආධාරකවල උස අඟල් 30-34 අතර විය යුතු අතර බිත්තියේ සිට අඟල් 2 පමණවත් පරතරයක්‌ තිබිය යුතුය. එසේම බිත්තිවල පින්තූර ආදිය නොඑල්ලා පැහැදිලිව තිබිය යුතු අතර (අවධානය වෙනස්‌ නොවීම සඳහා) ඉහළින් සහ පහළින් පඩිපෙළ ආලෝකමත් විය යුතුය (හෙවණැලි නොවැටෙන සේ).

ආනත තල (Ramps) ආනත තලයක සෑම විටම ලිස්‌සන ස්‌වභාවයෙන් තොරවිය යුතුය. අවම වශයෙන් අඟල් 4 පමණ පළල් විය යුතුය. ආනතිය 1:12, 1:20 රෝද පුටු භාවිත කරන අයට සුදුසු වේ (ආයාසයකින් සහ ආධාරයෙන් තොරව තනිව ගමන් කළ හැකි බැවින්). ආනත තලයක්‌ අඩි 25 කට වඩා දික්‌වේ නම් එම මැද කොටසේ අඩි 5 ක ප්‍රමාණයක Flat Form එකක්‌ ගිමන් හැරීම සඳහා අවශ්‍ය වේ. එලෙසින්ම ආනත තලයේ දිශාව වෙනස්‌ වේ නම් එම ස්‌ථානය ද Flat Form එකක්‌ අවශ්‍ය වේ. ආනත තලය සඳහා අඟල් 24-32 අතර උස ප්‍රමාණයෙන් අත් ආධාරකත් තිබිය යුතුය.

ජනේල සඳහා සමාන්තරව තල්ලු කරන ජනේල සුදුසු වේ. ලෙහෙසියෙන්ම ග්‍රහණය කරන ලෙසින් මෙන්ම ළඟාවිය හැකි හැඩතල අවශ්‍යයි. විදුලි බල්බයක්‌ සඳහා ස්‌විචයන්, අඩි 2 අඟල් 10 සහ අඩි 3 අතර උසකින් සවිකිරීම හෝ ටැප්හැඬලය වර්ගයේ ස්‌විචයක්‌ වඩාත් යෝග්‍යයි.

නාන කාමර සඳහා අඩුම වශයෙන් වර්ග අඩි 40-45 ත් අතර බිම් ප්‍රමාණයක්‌ අවශ්‍යයි. පොළොව නොලිස්‌සනසුලු විය යුතු අතර සියලුම නාන කාමර උපකරණ රෝද පුටුවේ සිට ක්‍රියාත්මක කළ හැකි උසකින් තිබීම වැදගත්ය. බිත්තියට grab bars (අල්ලා ගැනීමට) සවිකර තිබිය යුතුය.

වැසිකිළි සඳහා කොමඩ් සවිකර තිබිය යුතු අතර අඟල් 17 ක්‌ පමණ උස්‌විය යුතුය. grab bars අඟල් 19 ක්‌ පමණ උසින් සවිකර තිබිය යුතුය. කොරිඩෝරයක පළල අඩුම වශයෙන් අඩි 4 ක්‌ වත් විය යුතුය.

පදුම ඩී. යාපා, ලේකම්, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය චිකිත්සක සංගමය
වැඩබලන වෘත්තීය චිකිත්සක අධිකාරී පුනරුත්ථාපන රෝහල, රාගම.
සාකච්ඡා කළේ සමන් උපුල් පිනිදිය
ලිපි මුලාශ්‍රය – දිවයින පුවත්පත

(Visited 1 times, 1 visits today)

Add Comment