ඔබ බිත්තර වලින් හදන්න නොදැන සිටි ලේසිම රසම ඉක්මන් කෑම 5 ක් මෙන්න

බිත්තර කන්න කවුද අකමැති? ලොකු පොඩි කවුරුත් වගේ බිත්තර කන්න කැමතියි. මස් මාළු වලට එතරම් ප්‍රිය නැති අයත් බිත්තර නම් නොකා ඉන්නේ නෑ. මේ කියන්න හදන්නේ එකම විදියට තම්බල බැදල කන බිත්තරේට පොඩි වෙනසක් කරන්න ක්‍රම කීපයක්. ප්‍රධාන ආහාර වේලක් එක්ක වගේම පොඩි අයගේ උත්සව වලට නැත්නම් හවසකට උනත් නිකම්ම ස්නැක් එකක් විදියට කන්නත් බිත්තර මේ විදියට හදාගන්න පුළුවන්.

1. Deviled Eggs

බිත්තර හොඳින් තම්බා ගෙන කටුව ඉවත් කර දෙකට කපා සුදු මදය නොකැඩෙන සේ කහ මදය ඉවත් කරගන්න. ඉවත් කරගත් කහමදය පොඩි කර එයට චීස් ( හැපී කව් චීස් කැබලි ගන්න පුළුවන්),මයෝනිස් සෝස්,ලුණු,ගම්මිරිස්,කුඩාවට කපාගත් පාස්ලි කොළ,තම්බා කැබලි නොසිටින්න පොඩි කරගත් බීට් අල ටිකක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. සාදාගත් පේස්ට් එක පයිපින් බෑගයක් හෝ ඝනකමින් වැඩි පොලිතින් බෑගයකට හෝ දමාගෙන බිත්තර සුදු මදය තුලට පුරවා ගන්න.

2. Frittata

තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් රත් වෙන්න තබා එයට තලාගත් සුදු ලූනු, පොඩියට කපාගත් ලූනු, නිවිති කොල, තක්කලි , තම්බා කුඩාවට කපගත් අල එක් කර තෙම්පරාදු කරගන්න. (මේ සඳහා ඔබට ඔබ කැමති එලවලු වර්ගයක් හෝ තම්බාගත් මස් වර්ගයක්, බැදගත් බේකන් උනත් එක් කරගන්න පුළුවන්)

එය ලිපෙන් ඉවත් කර ලුණු ,ගම්මිරිස් එක් කර හොඳින් ගසාගත් බිත්තර 8ක් එක් කරගන්න. බේක් කරගත හැකි තැටියකට හොඳින් බටර් ගා ගෙන සාදාගත් මිශ්‍රනය දමා උඩින් මොසරෙල්ලා චීස් ඉසගෙන සෙල්සියස් 160 උශ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කරගන්න.

3. Scotch Eggs

ඔබ කැමති පිස නොගත් මස් වර්ගයක් ගෙන හොඳින් අබරා ගන්න. (සැමන් හෝ කටු රහිත මාළු වුනත් බාවිතා කරන්න පුළුවන්). එයට සිහින්ව කපාගත් පාස්ලි කොල,රස අනුව ලුණු, ගම්මිරිස් එක් කරගන්න. මෙම මස් මිශ්‍රණයෙන් ටිකක් ගෙන පැතලි රොටියක් ආකාරයට සාදාගෙන එය මැදට හොඳින් තම්බා කටු ඉවත් කරගත් බිත්තරයක් තබා මිශ්‍රණයෙන් බිත්තරය ආවරණය කරගන්න.

සකසා ගත් බිත්තර අධි ශීතකරණයේ පැයක් තබාගන්න. මෙසේ ආවරණය කරගත් බිත්තරය බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න. නිකම්ම හදන බිත්තර කට්ලට් එකකට වඩා මේක ගොඩක් රසයි, පහසුයි.

4. Baked French Toast

අවන් එකට දමාගත හැකි තැටියක් ගෙන එහි හොඳින් බටර් තවරාගන්න. ෆ්‍රෙශ් මිල්ක් වල හෝ පිටිකිරි වල පොඟවාගත් පාන් පෙති 6ක් සූදානම් කරගත් තැටියේ අතුරාගන්න. (ඔබට අවශ්‍ය නම් පාන් පොඩියට කඩා අතුරාගන්නත් පුළුවන්)

ලුණු, ගම්මිරිස් එක් කර ගසා ගත් බිත්තර 8 ට, සිහින්ව කපාගත් ලූණු, අමුමිරිස්, කැරට් ලීක්ස් එක් කර මිශ්‍ර කර පාන් තට්ටුවට උඩින් දමාගන්න. සිහින්ව ගාගත් මොසරැල්ල චීස් උඩින් ඉස තවත් කිරිවල පොඟවාගත් පාන් පෙති 6ක් එයට උඩින් අතුරා (කැමතිනම් තවත් මොසරැල්ලා චීස් ටිකක් එයට උඩින් ඉසගන්න.) සෙල්සියස් 180ට කලින් රත් කරගත් උඳුනක විනාඩි 20-25ත් අතර කාලයක් බේක් කරගන්න.

5. Egg Muffins

ලුණු,ගම්මිරි රස අනුව එක් කර බිත්තර ටික හොඳින් ගසා ගන්න. එයට කුඩාවට කපාගත් සොසේජස්,චීස්,ලූනු කොළ,තක්කලි එක් කරගන්න. මෆින් කප්ස් වල බටර් තවරා සාදාගත් මිශ්‍රණය කප් එකකින් 1/3 පමණ පුරවා සෙල්සියස් 180 ට කලින් රත්කරගත් උඳුනක දමා විනාඩි 20ත් 25ත් අතර වේලාවක් බේක් කරගන්න.

ඔබට මේ ලිපිය උපකාරී වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

උපුටා ගැනීම – Aniwa.lk

(Visited 1 times, 4 visits today)

Add Comment