ජාතියක් නිරෝගී කල විශ්මිත උදෑසන ආහාරය

උදෑසන ආහාරය කියන්නේ දවසේ වැදගත්ම ආහාරය කිව්වොත් හරි. දවස පුරා ප්‍රබෝධයෙන් වැඩ කරන්න නම් උදෑසන ආහාරයේ ගුණාත්මකභාවය ඉතාමත් වැදගත් වෙනවා. ඒත් අවාසනාවට අද සමාජයේ බොහෝ දෙනෙක් අඩුම අවධානයක් යොමු කරවන ආහාර වේල වෙලා තියෙන්නෙත් උදෑසන ආහාරයම තමයි. මෙහි ප්‍රතිපලයක් විදියට අවසානයේ බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් රෝගයට ගොදුරු වෙනවා. මෙය ඉතාම පීඩාකාරී රෝගයක් බව ඔබ හොදින්ම දන්නවා ඇති. ඒ තරමටම අද සමාජයේ ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පිඩා නොවිදින අය හොයා ගන්න නැති තරම්. කලබල වෙන්න අවශ්‍ය නෑ. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරනවා ගැස්ට්‍රයිටිස් රෝගය සහමුලින්ම නසන්න පුළුවන් විශ්මිත බෙහෙතක් ගැන. මෙය අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන හෙළ වෙදකමක්. ඔබ දියබත ගැන අසා තිබෙනවාද ? දියබත ආහාරයට ගැනීම මගින් ගැස්ට්‍රයිටිස් සුව කර ගන්න පුළුවන් වගේම , දවස ප්‍රබෝධමත්ව ආරම්භ කිරීමටද අපිට ශක්තිය ලබා දෙනවා. ඒ වගේම තමයි අපේ දවසේ ඊළඟට ගන්න ආහාර වේල් වලදී , ඕනෑම සැර ආහාරයකට කුස සුදානම් කරවනවා. ඇත්තෙන්ම කිව්වොත් දියබත කියන්නේ බොහෝ රෝග වලට අත් බෙහෙතක්. ඉතින් ජාතියක් නිරෝගිව තබන්නට උදව් වූ , දිව්‍ය ඖෂධයක් බඳු ”දියබත් ” වල ඇති විශ්මිත ප්‍ර‍තිලාභ ගැන තමයි අද විශ්ම ලෝකයෙන් අපි කතා කරන්න සූදානම් වන්නේ. ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුව කරන අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන හෙළ වෙද කමක්

රාත්‍රියේ මැටි හට්ටියේ ඉතිරිවන බත් දන්කුඩය යන්තම් වැසෙන්නට පිරිසිඳු ජලය දමා වසා තබන අපේ පැරැන්ණන් උදෑසන පිම්බි ඉදිමි ජලය සිඳී තිබෙන දන්කුඩ බත හට්ටියෙන් ඉවත් නොකර එයටම උකු පොල්කිරි එකතු කර සිහින්ව ලියා ගත් රතු ළූණු , අමුමිරිස් කරල් දෙක තුනක්, දෙහි යුෂ සහ අවශ්‍ය පමණ ලුණු දමා හොඳින් කලවම් කර ”දිය බත” පිළියෙළ කරනවා.

පලාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැක ගන්න පුළුවන්. කොළඹ පළාතේ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ කබලේ බැදගත් හෝ ගින්දරට පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් , කුඩා කැබලි කර එක් කෙරුණු අතර නුවර පළාතේ මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදු වෙනවා. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තෙ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර තියෙනවා

කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රස සහ ගුණ මිස , අගුණයක් ඇසු අවස්තා නම් නැහැ . කලාතුරකින් හැදෙන බඩේ දැවිල්ලට මෙය දිව ඔසුවක් වූ නිසාමදෝ , අද වන විට ජාතියක් රෝගී කර ඇති ආමාශ තුවාල , එසේ නැතහොත් ගැස්ට්‍රයිටිස්​ නාමය එකල අසන්නට වත් තිබුනේ නැහැ.

හිස් මුදුනින් දාඩිය දාන්න තරමට කොච්චි මිරිස් කෑ ජාතියක් , වසර 20-30කට පසු අද වනවිට මෙලෝ රහක් නැති කිරි රස ආහාර වලට හැරී ඇති නමුත් , අද වන විට කාලින රෝග එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. විවෘත ආර්ථිකයත් සමඟම දියබත් වැනි අපේ පැරණි ආහාර රටාව ලිප් බොක්කට විසි කර දමා නොගැලපෙන ආහාර රටාවකට හුරු වීම මෙයට මුලික හේතුව ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත , සැරට පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩි වෙනවා. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබත තරම් සමත් වෙනත් ඖෂධයක් මේ ලෝකේ නෑ.

කට දිව පැලීමට බහුලව භාවිතා වන කතුරුමුරුංගා කොළ මෙන්ම , හරි හරියට ගුණ දෙන දියබත , දෙල්, බලමාලු, ඉස්සෝ, දැල්ලෝ වැනි උෂ්ණාධික ආහාර බහුල කාලයේදී ආහාරයට ගැනීම ඉතා යෝග්‍යයි. දියබතේ ගුණ අගුණ මනාව දැන සිටි අපේ ගැමියන් , සෙම් රෝග හෝ වැසිකාල වලදී දියබත නොගැලපෙන බවත් , ප්‍රත්‍යක්ෂයෙන් දැන් සිටියා. දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට අපට ඇති ජිවිත අත්දැකීම් වලට අමතරව එය දේශීය ආයුර්වේද සහ බටහිර වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේත් සරලව විග්‍රහ කර පෙන්විය හැකියි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මුල ධර්මය නම් , ආම්ලිකතාවය වැඩි රෝගයකට , භාෂ්මිකතාවය සහිත ඖෂධ දීමෙන් අම්ල-භෂ්ම සමතුලනය ඇති කිරීමයි. ගැස්ට්‍රයිටිස් රෝගයට බටහිර විද්‍යාවේ සියලු ඖෂධ පිළියෙළ කෙරෙන්නේ, මේ සිද්ධාන්තය මුලික කර ගනිමින්. උදාහරණ ලෙස ගැවිස්කොන් වැනි ඖෂධ පෙන්වා දිය හැකියි. මේ සිද්ධාන්තයට අනුව බැලුවොත් භාෂ්මික ද්‍රාවණයක් වන පොල්කිරි නිසා ගැස්ට්‍රයිටිස් වලට දියබත් සුවදායි වෙනවා.

ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ මුලික සිද්ධාන්තය වන්නේ විසෙන් විෂ නැසීමයි. මෙය බටහිර වෙදකමෙන් තරයේ ප්‍රතික්‍ෂේප කෙරෙන දෙයක්. අම්ල ද්‍රාවණයක් ඇති කෝප්පයකට භෂ්ම ද්‍රාවණයක් එක්කර එය සමතුලනය කිරීම සිදු වුවත් , ශරිරයේදී ඒ සිද්ධාන්තය ඊට ප්‍රතිවිරුද්ධ බවයි දේශීය වෙදකමේ කියවෙන්නේ. එනම් දිවට දැනෙන රස මගින් ආම්ලික හෝ භාෂ්මික බව හඳුනාගෙන , ඊට විරුද්ධ ප්‍රතික්‍රියාවක් ශරීරයෙන් සිදුවන බවයි. උදාහරණයකට ඇඹුල් වැනි ආම්ලික රසයක් දිවට දැනුනු විට , අම්ලයක් පැමිණෙන බව දැන , ආමාශය භාෂ්මිකතාවය ස්වභාවිකව වැඩිකර ගැනීම පෙන්වා දෙන්න පුළුවන්.

මේ නියමය දියබතට අදාළ වන්නේ කෙසේද?

දෙහියුෂ සහ රතුළුණු කියන්නේ ආම්ලික ආහාර. දියබත දිවට වැටුණු වහා , මුලින්ම දැනෙන්නේ මේ ආම්ලික ඇඹුල් රස. ඒ නිසා ආමාශය අම්ල අඩුකරලා භාශ්මියකරණයට සුදානම් වෙනවා. දැන් ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යැවෙනවා. එමගින් ශරීරය ස්වභාවිකවම ආම්ලික බව අඩු ගැනීමට ගත් උත්සාහය තවත් උත්තේජනය කරලා, බාහිරිනුත් ආම්ලික බව අඩු කෙරෙන ආහාරයක් යැවෙනවා. දේශීය වෙදකමේ ආකාරයට විෂෙන් විෂ නසලා, ඔන්න ඔහොමයි දිය බතෙන් ගැස්ට්‍රයිටිස් සුවකලේ.

දවස පුරා කුඹුරේ කමතේ ගත වෙහෙසවා වැඩ කරන පවුලේ අයට දියබත උදෑසන ආහාරයක් සැපයුවේ කෙසේද?

දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බත. අද වන විට උදෑසන ආහාරය සපයන , පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝමෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වෙලා තමයි තියෙන්නේ. නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල , පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් වෙන්නේ නැහැ. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩේ ඇති විටමින් වර්ග, ලවන සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයක් තමයි හීල් බත කියන්නේ.

පොල් වල ඇති ගුණ මෙතකැයි කියා නිම කල නොහැකියි. පොලේ ඇති ඖෂධිය සහ පෝෂණීය ගුණ ගැන , පොත් ගණනාවක් ලිවිය හැකි මුත් මෙහිදී පොල් කිරි එකතු කිරීමෙන් දියබතට ලැබෙන පෝෂණ ගුණ පමණක් සුළුවෙන් විමසා බලමු.

පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව අපට ලැබෙන වාසි රැසක් තියෙනවා. සංතෘප්ත මේධය , ශක්තිය ලෙස යොදවා කොලෙස්ටරෝල් අඩු කරලා , හදවත් රෝග අඩු කිරීමේ අසාමාන්‍ය බලයක් පොල් වල තියෙනවා. මිට අමතර පොල් වල අඩංගු අධි ලවන සංයුතිය මගින්
මානසික ආතතිය , අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය ඇති වීම වළක්වනවා. ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්රියා කර ශරීරයේ ඇති ධුලක ඉවත් කිරීමට සමත් පොල්කිරේ සහ ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීමේ (Anti-microbial effect) ගුණාංගද අඩංගුයි.

විටමින් සී සහ ඒ බහුල ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් වල ඊට අමතරව විශාල වශයෙන් ලවන සහ ඛනිජ වර්ගත් අඩංගු වෙනවා. ප්‍රතිඔක්සිකාරක අතර ඉහලින් වැජඹෙන විටමින් සී බොහෝ රෝග වලක්වා ශරීරය විෂහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත් වෙනවා.

කැල්සියම්, සෝඩියම් පොටෑසියම් වැනි ලවන වර්ග වලින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහෝයි. දෙහි-රතුළුණු-අමුමිරිස් සුසංයෝගය , ඛේට ග්‍ර‍න්ථි උත්තේජනය කර, ආහාර රුචිය ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි දවස පුරා ආහාර දිරවිම සහ අවශෝෂනයත් පහසු කරනවා. මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත කියන්නේ ඉතා පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයක් ලෙස දැන් ඔබට හොදින්ම වැටහිලා ඇති . දවස පුරා සිරුර නැවුම් බවින් තබා , බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට දැන් කාලය ඇවිත්. මේ එක්කම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් වැලකි සිටීම සදහා අනුගමනය කල හැකි තවත් වැදගත් කරුණු ටිකක් ඔබට කියා දෙන්නම්.

ආහාර අනුභව කරන කොට හොදින් සපා ආහාරයට ගන්න. ආහාර හොදින් හපන්නේ නැතුව ඉක්මණින් ගිලීමෙන් , ඒවා දිරවීමට වැඩි කාලයක් ගතවීම සහ අපහසු වීම නිසා ආමාශයේ ආම්ලික බව වැඩි වෙනවා.

ඒ වගේම කිසිම වෙලාවක ආහාර වේල් මඟ හරින්න එපා. විශේෂයෙන්ම උදෑසන ආහාර වේල මග අරින්නම එපා. ප්‍රධාන ආහාර වේල් තුන අතර , අවම පැය 6ක පරතරයෙන්වත් තබා ගත යුතු වෙනවා.

චුයින්ගම් සහ බබල්ගම් හැපීම කියන්නේ ගැස්ට්‍රයිටිස්වලට ඉතාම අහිතකර පුරුද්දක් . චුයින්ගම් හෝ බබල්ගම් සැපීමෙන් ඛේඨ ග්‍රන්ථි අනවශ්‍ය ලෙස , ක්‍රියාත්මක වෙලා , මොළයට යවන සංඥා මඟින් ආහාර දිරවීමට අවශ්‍ය අම්ලය , ආමාශයේ නිපදවීම සිදු කෙරෙනවා. එහෙත් එය ව්‍යාජ සංඥාවක් නිසා, නිපදවෙන අම්ල හේතුවෙන් ආමාශයේ තුවාල ඇති වෙන්න ගන්නවා.

ඒ වගේම තමයි පමණට වඩා ආහාර ගැනීමත් සුදුසු වෙන්නේ නෑ. දිරවා ගැනීමට අපහසු වන තරම් ආහාර ප්‍රමණයක් ගැනීම, ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ඉතාම අහිතකර බව වෛද්‍යවරුන් පවසනවා.

එහෙනම් යාලුවනේ ඔබේ ආදරණියෙකු හෝ මිතුරෙකු ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙනවා නම් ඔවුන්ට දියබත හදුන්වා දෙන්න. මේ උපදෙස් ගැනත් කියා දෙන්න. විශ්ම ලෝකය තුලින් අදට අපි සමු ගන්නවා. මෙවැනි වැදගත් වීඩියෝ දිනපතා නැරඹීම සදහා විශ්ම ලෝකය යුටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔබට නිරෝගිමත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා!!!

Add Comment