දරුවට උණ හැදුනාම මේ විදියට ඖෂධ දෙන්න – මාත්‍රාව ඉක්මවා පැරසිටමෝල් දුන්නොත් විෂ වෙනවා

උණ සන්නිපාත නම් ඇතිවන්නේ පඩිපෙළක ආකාරයටයි. ඒ කියන්නේ එන්න එන්න උණ වැඩි වීමයි. උණ නොහැදුණු කිසිම කෙනෙක් ඉන්නවා යැයි අපට සිත්නනට බැහැ. මොකද ඕනෑම ලෙඩක රෝග ලක්ෂණය ලෙස මුලින් ම දැකගත හැකි වන්නේ උණ වීමයි. එසේ කීවත් වයස සමඟ උණ හැදෙන හේතු වෙනස් විය හැකියි. ඒ නිසා අද අපි බලමු ළමා වයසට උණ බලපාන්නේ කෙසේද? කියා.

‘ළමයි’ යනුවෙන් වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වන්නේ කුමන වයස් මට්ටමක් දක්වා ද යන්න මෙහිදී දැනගත යුතුයි. අවුරුදු 17 ක් වනතුරු ළමයින් හැටියට තමයි හඳුන්වන්නේ, නමුත් රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර කරන්නේ වයස 12 දක්වා ළමයින්ට පමණයි. වයස සමඟ සලකද්දී ඉපදුණු ගමන් දරුවෙකුට උණ ගැනෙනවා නම් එයට හේතුව කිරි අඩුවීම විය හැකියි. එය කිරි උරා බිමේ අඩුවක් හෝ මවගේ කිරි අඩුවීමක් හෝ වන්නත් පුළුවන්. ඒ වගේම විෂබීජයක් නිසා ඉපදුණු ගමන්ම වුණත් බබාට උණගැනෙන්න ඉඩ තියෙනවා.

දරුවකුගේ උගුර, කන, නාසය ආසාදනය වීම නිසාත් උණ ඇතිවන්නට පුළුවන්. උණ ඇති වී ගෙන එන විටම කලබල වී වෛද්‍යවරයකු හමුවනවාට වඩා ගෙදරදීම මවුපියන් ටිකක් සැලකිලිමත්ව දරුවා කෑම කනවා ද, කිරි බොනවා ද, වමනය, කැස්ස තියෙනවාද කියා බැලිය යුතුයි. ස්වසන මාර්ගය, ආහාර ජීර්ණ පද්ධතිය හෝ වෙනත් ඉන්ද්‍රියක ආසාදනයක් නිසාත් උණ ඇති වෙන්න පුළුවන්. උණ සමඟ එන අනෙක් රෝග ලක්ෂණ සසඳා බලා රෝගය හඳුනාගත යුතුයි.

දරුවෙකු උණ සමඟ වමනය කරනවා නම්, එය බඩඑළිය යෑම හෝ පාචනය සමඟ බඩේ කැක්කුම තිබේ නම් විෂබීජ නිසා ආහාර මාර්ගයේ ආසාදනයක් ඇති වී ඇති බව සැක කරන්න පුළුවන්. උණත් සමඟ එන ඔළුව කැක්කුම වැඩිනම් සමහරවිට මොළයට විෂබීජ යාම නිසා එක්කෝ මෙනින්ජටිස් හෝ එන්සෙෆලයිටිස් වැනි රෝග වැලඳී තිබේ දැයි සැක කරන්න සිදු වෙනවා.

මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා උණ සමඟ එන්නේ බඩ දැවිල්ල, නිතර මුත්‍රා යෑම, දරුවාගේ බර වැඩි නොවීම ආදී ලක්ෂණයි. පිළිකා, ලියුකේමියා, ලිම්ෆෝමා වැනි පිළිකා වර්ග වලටත් උණ හැදෙන්නට ඉඩ තිබෙනවා. සමහර දරුවන්ට හමේ ආසාදන නිසාත් තවත් සමහරුන්ට දහඩිය නොදැමීම නිසාත් උණ හැදෙන්න පුළුවන්. ඇතැම් ළමයින්ට උණ ගැනෙන්නේ නිතර නිතර බෙහෙත් දෙන නිසායි. එය අපි හඳුන්වන්නේ ‘බෙහෙත් උණ’ කියාය.

තවත් සමහර දරුවන්ට උණ ඇති කරන්නේ අම්මලායි. අම්මාගේ මානසික තත්ත්වයත් නිසා සැමවිටම දරුවාට උණ තිබෙන බව කියනවා. එවැනි දරුවන් රෝහලට ගෙන ආවිට ඔවුන්ට කිසිම ලෙඩක් ඇත්තේ නැහැ.

සමහර දරුවන්ට උණ හැදුණාම වලිප්පුවට එනවා. අපි ෆිට් එක කියා කියන්නේ එයටයි. සාමාන්‍යයෙන් මාස 5 – 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට උණ වලිප්පුව ඇතිවෙන්නට පුළුවන්. ඒ වෙලාවට දරුවාගේ අතපය දලදඬු වී ගැහෙනවා. මේ තත්ත්වය මිනිත්තු 15ට වඩා පවතිනවා නම් දරුවා පැත්තට හරවාගෙන වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුයි. එසේ කරන්නේ දරුවාට හුස්ම ගැනීම පහසු කිරීමටයි. මොන හේතුවකටවත් දරුවා උඩුබැලි අතට ගෙන යාම සුදුසු නැත.

උණ වලිප්පුව හැදුනාම එය සාමාන්‍යයෙන් වලිප්පුවද නැතහොත් මොළයට විෂබීජයක් යෑම නිසා ඇති වුවක් ද යන්න ස්ථිරවම දැනගත යුතුයි. සමහර විට මවුපියන්ට ළමා කාලයේ උණ වලිප්පුව හැදුනා නම් එය පරම්පරාගතව දරුවාට ද ආ හැකියි.

දරුවෙකුට උණ ඇත්දැයි හරියටම දැනගැනීම ඉතා වැදගත්. මේ සඳහා උණකටුව භාවිත කරන ආකාරය ද දැනගත යුතුමයි. ගෙදරක පොඩි දරුවන් සිටීනම් උණකටුවකුත් ගෙදර තිබිය යුතුමයි. දරුවාගේ උණ බැලීමට නළලට අත්ල තබා බැලීම සාර්ථක නැහැ.

උණගත් පමණින් දරුවෙකුගේ මුහුණින් එය දකින්න බැහැ. නමුත් ඩෙංගු උණ තත්ත්වයේදී මුහුණේ මලානික ගතිය සහ අනෙක් ඩෙංගු රෝග ලක්ෂණ දැකිය හැකියි. උණ මැනීමට උණකටුවක් භාවිත කරන්නට පෙර පැය කාලයක් භාගයක් පමණ දරුවා විවේකීව, සන්සුන්ව තැබීම වැදගත්. හේතුව දරුවාගේ ක්‍රියාකාරීත්වය වැඩිවීම හෝ නොසන්සුන්කමක් ඇති වුවහොත් ඇඟේ උෂ්ණත්වය ද වැඩි විය හැකි නිසා.

උණකටුව දිව යට තබා උණ බලන්නට තීරණය කරනවා නම් දරුවාට පැය භාගයක් පමණ උණුසුම් හෝ සිසිල් ආහාරපාන ලබා නොදීම වැදගත්. දරුවාගේ උණ බැලීමට කිහිල්ල යටින්, දිව යටින් හෝ ගුදමාර්ගයෙන් උණ කටුව තබා විනාඩියක් 2 ක් පමණ බලා සිටිය යුතු වෙනවා. මෙහිදී දිව යට හා ගුදමාර්ගයට උණකටුව දැමු පසු දරුවා ඉතා සන්සුන්ව තබාගත යුතුයි. නැතහොත් උණකටුව කැඩී හානි සිදුවන්න වුණත් ඉඩ තිබෙනවා.

කුඩා දරුවන්ගේ උණ බැලීමට කිහිල්ල යටින් උණකටුව තබා අත සොලවන්නට නොදී සිටීම පහසුයි. ගුදමාර්ගයෙන් උණ බලනවා නම් උණකටුව ග්ලිසරින් වැනි යමක් ආලේප කිරීම අවශ්‍ය වෙනවා.

කිහිල්ල යටින් උණ මැනීමේදී ඇතැමි විට මුඛයෙන් මනින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශකයක් පමණ අඩුවීමට ඉඩ ඇති බැවින් කටුවේ පෙන්නුම් කරන ප්‍රමාණයට වඩා අංශක භාගයක් හෝ එකක් එකතු කරගැනීම වඩා නිවැරැදිය.

මතක තබාගත යුතු වැදගත්ම කරුණ නම් උණ නැති දරුවකුගේ වුණත් සවස් කාලයේදී වගේම විවිධ ක්‍රියාකාරකම් නිසා උෂ්ණත්වයේ වෙනසක් සිදු වී තිබීමට ඉඩක් ඇති බව. උණකටුවේ සෙල්සියස් අංශක 36.9 – 37 .0 හෝ ෆැරන්හයිට් අංශක 98.4 ට වඩා වැඩි නම් උණ ඇති බව අප හඳුනාගන්නවා. නමුත් සමහර දරුවන් මෙන්ම වැඩිහිටියන් උපතින්ම ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වෙනස් වුණු අයත් සිටිනවා. ඒ ගැනත් අවබෝධයකින් කටයුතු කිරීම වැදගත්.

උණ ඇති බව හඳුනාගත්තා නම් කලබල විය යුතු නැහැ. මුලින්ම කළ යුත්තේ දරුවාගේ වයසට ගැළපෙන මාත්‍රාව අනුව පැරසිටමෝල් වර්ගයක් ලබාදීමයි.

නමුත් ඇස්පි‍්‍රන් වර්ග ලබාදීම එකවර අනුමත නොකරන්නේ ඩෙංගු වැනි රෝග තත්ත්වයන් ඇත්නම් එය හඳුනාගැනීමට ඇස්පී‍්‍රන් මඟින් බාධාවක් සිදු විය හැකි නිසයි. එයට හේතුව සමහරවිට ඇස්පි‍්‍රන් ලබා දුන් පසු ද අභ්‍යන්තර ලේ ගැලීම් ඇති විය හැකියි. ඩෙංගුවල දී ද අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවනවා. ඇස්පී‍්‍රන් දී තිබුණොත් කුමන හේතුව නිසා ද යන්න අවිනිශ්චිත නිසා පැරසිටමෝල් වර්ග ලබාදීම වඩා ආරක්ෂිතයි.

උණ සැදී පළමු දිනයේ ම රෝහලකට යෑම අවශ්‍ය නොවුණත් දින 3 ක් පුරා උණ පවතිනවා නම් වහාම ලේ පරීක්ෂාවක් කිරීම ඉතා වැදගත්. සන්නිපාත උණ නම් ඇතිවන්නේ පඩිපෙළක ආකාරයටයි. ඒ කියන්නේ එන්න එන්න උණ වැඩි වෙනවා.

මැලේරියාව නම් උණ ගැනී දින කිහිපයක් සුව වී නැවත උණ ඇති වනවා. වෛරසයක් නිසා උණගත්ත විට ඒ උණ දිනපතාම අඩු වැඩි වෙනවා. මේ සියල්ලම වෙද්‍යවරයකු විසින් පරීක්ෂා කර හඳුනා ගනු ලබනවා. ඒ නිසයි දින තුනකට පසු ලේ පරීක්ෂා කරගන්න කියන්නේ. මොන හේතුව නිසා උණ ගත්ත ද දරුවාට හොඳින් ආහාර පාන ලබාදීම අත්‍යවශයි. එමඟින් දරුවාගේ ප්‍රතිශක්තීකරණ හැකියාව පවත්වා ගැනීමට හේතු වෙනවා. එසේ ආහාර දීමේදී දරුවා අරුචියක් දක්වනවා නම්, ආහාර ටික ටික වැඩි වාර ගණනක් ලාබදිය යුතුයි.

උණ ඇති දරුවාට දියර ලබාදීම ද අතශවශ්‍ය වන්නේ විජලනයෙන් වළක්වා ගැනීමටයි. අනවශ්‍ය පරිදි දරුවාට රෙදි පෙරවීමෙන් වැළකී සිටිය යුතු අතරම වැඩිපුර ඇඳුම් අන්දවා ඇත්තම් ඒවා ඉවත් කර සැහැල්ලු ආකාරයෙන් සිටීමට සැලැස්වීමත්, දොර ජනේල් විවෘත කර යහපත් වාතාශ්‍රයක් ලබාදීමත් අවශ්‍යයි. එයින් ශරීරයේ උණුසුම පිට වී සහනයක් ලැබෙනවා.

තද සෙම හෝ කැස්සක් නැතිනම් කාමර උෂ්ණත්වයේ පවතින සාමාන්‍ය ජලයෙන් තෙත මාත්තු කළ රෙදිකඩයකින් මුහුණ නළල තෙතමාත්තු කළ ද වරදක් නැහැ. එයින් සිදුවන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩු වී සහනයක් ලැබීමයි. නමුත් අයිස් තැබීම නම් උණ හැදුණු දරුවෙකුට හොඳ නැහැ. දරුවෙකුට උණ ඇති වී ප්‍රථමාධාර ද ලබා දී පසුව වෛද්‍යවරයකු හමුවීමට ගිය විට, වෛද්‍යරයා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා. එවිට ඉතාම වැදගත් කාරණය වන්නේ ඒ වෛද්‍යවරයා නියම කළ ඖෂධ ප්‍රතිකාරය අනුමත කාලය තුළ නොකඩවා දරුවාට ලබා දීමයි.

සමහර අම්මලා එක බේත් වේලෙන් සුව නොවුණ හොත් වෛද්‍යවරුන් මාරු කිරීම හෝ දරුවාට සුවයක් පෙනේනම් බෙහෙත් නතර කිරීම වැනි ඉතාම නරක වැඩ කරන ඒවා නොකළ යුතුයි.

වෛද්‍යවරයකු ප්‍රතිජීවක ඖෂධ නියම කරන්නේ, මුත්‍රා ආසාදනයට දින 7 ක් සෙම්ගෙඩිවලට දින 10 ක්, මොළේට විෂබීජ ගොස් තිබේ නම් අඩුම වශයෙන් දින 21 ක් වශයෙනි. බැක්ටීරියා දිලීරයක් මඟින් ඇතිවන රෝග සඳහා විවිිධ දින ගණන් ප්‍රතිජීවක ඖෂධ නියම කෙරේ.

මේ නියමිත කාලය පුරා බෙහෙත් ලබා නොදීම නිසා දරුවාට හානි දෙකක් සිදුවිය හැකියි. එකක් රෝගය නියමාකාරයෙන් සුව නොවී උත්සන්න තත්ත්වයට පත්වීම, දෙවැන්න ප්‍රතිජීවක වලට අනුවර්තනය විය හැකි විෂබීජ ඇතිවීම නිසා එනම් එම ඖෂධයට විෂබීජ හුරුවීම නිසා යළිත් එම ඖෂධය ලබාදුන් විට ප්‍රතිචාර නොදැක්වීම.

උණ ඇති පුංචි දරුවෙකු ගැන අවධානයෙන් යුතුව කටයුත කළ යුතු වන්නේ පුංචි දරුවන්ට තමන්ට ඇති අපහසුව පැහැදිලි කිරීමට නොහැකි නිසාය. දරුවාගේ අපහසුතා නිවැරැදිව හඳුනාගත යුතුය.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ශරීර උෂ්ණත්වය නැතිනම් ඇඟේ උණ වැඩිවූ විට ලබාදෙන ඖෂධ වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ ප්‍රතිජීවක (antipyretics) ඖෂධ ලෙසයි. මෙම ඖෂධ ළමුන් සඳහා බහුලව භාවිත කරයි. පැරසිටමෝල් (paracetamol) යනු බහුලව භාවිත වන ප්‍රතිජීවක (antipyretics) ඖෂධයකි. ඩෙංගු හා අනිකුත් වෛරස නිසා ඇතිවන උණ පාලනයට යොදා ගන්නා එකම ප්‍රතිජීවක ඖෂධය වන්නේ පැරසිටමෝල්ය. එය සිරප් සහ පෙති ලෙස ලබාගත හැකිය. පැරසිටමෝල් දවසකට ලබාදිය හැකි උපරිම මාත්‍රාවක් ඇත. කිසිවිටක එම මාත්‍රාවට වඩා පැරසිටමෝල් ඖෂධය ලබා නොගත යුතුය.

දරුවන් සඳහා පැරසිටමෝල් ඖෂධය ලබා දීමේදී එය ගණනය කළයුත්තේ දරුවාගේ බර අනුවය. දරුවාගෙ වයස අනුව පැරසිටමෝල් මාත්‍රාව ගණනය කළ නොහැකිය.

වෛද්‍යවරයකු ඔබගේ දරුවාට බෙහෙත් නියම කරන සැම අවස්ථාවකම පැරසිටමෝල් ඖෂධය නියම කර ඇත්දැයි අදාළ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න. එසේ වෛද්‍යවරයා නියම කළ බෙහෙත් අතර පැරසිටමෝල් ඖෂධය තිබේ නම් කිසිවිටක අමතරව පැරසිටමෝල් දරුවාට ලබානොදෙන්න. මන්දයත් පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා දීමෙන් අක්මාවට හානි සිදුවිය හැකි අතර දරුවාගේ ජීවිතය අනතුරේ හෙළිය හැකිය.

ඇස්පී්‍රන් (aspirin) වැනි ස්ටෙරොයිඩමය නොවන ප්‍රතිප්‍රදාහමය ඖෂධ උණ අඩු කිරීමට අනුමත නොකෙරේ. තවද ගුද මාර්ගයෙන් ඇතුළු කරන ස්ටෙරොයිඩමය නොවන ප්‍රතිප්‍රදාහමය ඖෂධ (NSAIDs) ද උණ පාලනයට භාවිතය අනුමත නොකෙරේ.

උණ යනු ආසාදනයක් උදෙසා ශරීරය දක්වන ස්වාභාවික ප්‍රතිචාරයකි. ඉතාම අපහසු බවත් හෝ වේදනාවක් හෝ නැතිනම් උණ පහළ දැමීම අත්‍යාවශ්‍යම දෙයක් ද නොවෙයි. ගැහෙන සුළු උණ බොහෝවිට වෛරස ආසාදන හේතුවෙන් ඇතිවන අතර සීමිත කාලයකින් බැස යාමද සිදුවෙයි. එහෙත් දරුවාගේ උණ සමග පහතින් දැක්වෙන යම් තත්ත්වයක් දක්නට ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීමට අමතක නොකළ යුතුය.

1. අලුත උපන් බිලිඳෙකුට උණ ගත් විට

2. දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ ගන්නා දරුවකුට උණ ගත් විට

3. දින 03 කට වඩා උණ පවතින විට

4. දරුණු කන් කැක්කුමක් සමග උණ ඇති විට

5.කටහඬ වෙනස් වීම සහ ගිලීිමේ අපහසුතාව සහිතව උගුර වණවීමත් සමග උණ ඇතිවිට

6. මූත්‍රා කිරීමේ අපහසුතාවක් හෝ අඳුරු පැහැයෙන් යුතු මූත්‍රා පහ කිරීමක් හෝ සමග උණ ඇතිවිට

7. උණ අඩු කළ පසුවද ඉවසිය නොහැකි හිසරදයක් ඇතිවිට

8. විශේෂයෙන්ම වමනය සහිතව උදර ප්‍රදේශය යම් නිශ්චිත ප්‍රදේශයක වේදනාවක් ඇතිවිට

9.අත් පා වේදනාවක් හෝ හන්දි ඉදිමීමක් සහිතව උණ ඇති විට

10.උණ සමග සමේ රතු පැහැ ලප (පැල්ලම්) ඇති විට

11. උණ සමග ඇඟ මලානික වූ සීතල වූ හෝ තෙත් වූ බවක් සහිත වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්‍ලේ – ළමා රෝග විශේෂඥ වෛද්‍ය, පවුල් උපදේශක

Add Comment