මුත්‍රා ගල් වලින් වළකින්න වැඩිපුර වතුර බොන්න

මුත්‍රාශයේ ගල් ඇති වීම අද වන විට ලංකාවේ සුලභව දැකිය හැකි රෝගී තත්වයක්. මෙය කොතරම් ඉහල අගයක් ගන්නවාද කිව්වොත් , ශල්‍ය වාට්ටුවකට කෙරෙන හදිසි ඇතුලත්වීම් වලින් 30% පමණ ප්‍රමාණක් හිමි කර ගන්නේ, මුත්‍රාශයේ ගල් ඇති වූ රෝගීන්. එබැවින් මේ පිළිබඳව දැනුවත් වීම ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම වැදගත් වෙනු ඇතැයි විශ්ම ලෝකය කණ්ඩායම සිතුවා. අද විශ්ම ලෝකයේ මේ ලිපිය සැකසෙන්නේ මුත්‍රා ගල් ඇති වෙන්නේ ඇයි හා මුත්‍රා ගල් අවධානම අවම කර ගන්නේ කොහොමද යන්න පිලිබදවයි.

අපි මුලින්ම බලමු මුත්‍රා ගල් ඇති වෙන්නේ කොහොමද කියලා. වතුර අඩුවෙන් බොන විට මුත්‍රා සාන්ද්‍ර ගතියෙන් වැඩි වෙනවා . එවිට වකුගඩුවේ සිට මුත්‍රා ගමන් මාර්ගයේ කුඩා කැටිති නිර්මාණය වෙනවා. මෙම කැටිති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන යන අතර , විශාල කැටිති වකුගඩු වල ඉතිරි වෙනවා. මෙම කැටිති ක්‍රම ක්‍රමයෙන් එකතු වෙලා, විශාල ගල් හටගන්නවා. මෙම විශාල ගල් කාලයක් යද්දී මුත්‍රා මාර්ගය අවහිර කරන්න ගන්නවා.

මුත්‍රා ගල් එහි සංයුතිය අනුව වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුලුවන්.

කැල්සියම් සහිත ගල් – කැල්සියම් ඔක්සලේට් , කැල්සියම් ෆොස්ෆේට් වැනි රසායනික සංයුතීන්ගෙන් සෑදෙන මෙවැනි ගල්, X-ray පරීක්ෂණයට හසු වනවා.

යුරික් අම්ල ගල් – අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම නිසා අධික ආම්ලික මුත්‍රා ඇතිවිට මෙම ගල් සෑදෙනවා. මේවා සාමාන්‍ය X-ray වලට හසු වෙන්නේ නෑ

සිස්ටීන් ගල් – 1% ක් පමණ සුළු පිරිසකට වැළදෙන මෙම ගල් වර්ගය , වකුගඩුවේ ඇති ඇමයිනෝ අම්ල ගමනාගමන මාර්ගයේ , පරම්පරාගත රෝගී තත්වයක් නිසා තමයි හැදෙන්නේ. මෙම ගල් තරුණ අවධියේදීම ඇතිවන අතර , ජීවිත කාලය පුරාම මෙම ගැටළුව පවතීනවා .

අසාදන ගල් – මෙම වර්ගයේ ගල් ඇතිවන්නේ නිතර හැදෙන මුත්‍රා අසාදන වලට , නිසියාකාරව ප්‍රතිකාර නොකළ විටයි. මෙහිදී මුත්‍රා මර්ගයේ ඇතිවන පරිසරය , මුත්‍රා ගල් ඇති වී ඉක්මනින් වර්ධනය වීමට උපකාරී වෙනවා. මෙවැනි ගල් ඉතා විශාල වන අතර වකුගඩුව විනාශ කිරීමට පවා පුළුවන්.

මූත්‍රා ගල් ඇති වීම සදහා ප්‍රධානම හේතුව ලෙස ජලය අඩුවෙන් පානය කිරීම දක්වන්න පුලුවන්. ජලය පානය කිරීම මග හැරෙන සහ වැඩි වශයෙන් තාපයටත් , ඉර එලියටත් නිරාවරණය වන රැකියාවන් කරන අයට මෙම රෝගය සුලභව වැළදෙනවා. බේකරි කර්මාන්තය මේ සදහා හොඳ උදාහරනයක්.

රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ගද , මූත්‍රා මර්ගයේ ගල් ඇති වීමේ අවධානම වැඩි කරනවා. අනෙකුත් හේතු කාරණා ලෙස වකුගඩු වල ව්‍යුහයේ වෙනස්කම්, පවුලේ වෙනත් අයෙකුට මූත්‍රා ගල් තිබීම, බඩවැල් හෝ වකුගඩු ආශ්‍රිතව පවතින වෙනත් රෝගී තත්වයන් පෙන්වා දෙන්නට පුලුවන්.

මුත්‍රා ගල් ඇතිවිට මුලික අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. රෝග ලක්ෂණ නොමැතිවිට, මෙය බොහෝවිට සොයා ගන්න ලැබෙන්නේ වෙනත් රෝගයක් හඳුනා ගැනීමට සිදුකරන X-ray පරීක්ෂණයක් අතරතුරදී.

මුත්‍රා ගල් වල ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ දරාගත නොහැකි බඩේ කැක්කුමයි. මෙම වේදනාව යටිබඩ දෙසට විහිදී යන සහ , විටින් විට එන යන තද වේදනාවක් . මේ නිසා ඇතැම් විට වමනය පවා ඇති වීමට පුළුවන්. ප්‍රධානම රෝග ලක්ෂණය අධික වේදනාවයි. මුත්‍රා ගමන අඩාල වීම නිසා, වකුගඩු තුල ඇතිවන පීඩනයෙන් , වකුගඩුවේ ආවරණය ඇදීමකට ලක් වීම නිසා තමයි මේ විදියට තදබල වේදනාවක් ඇති වෙන්නේ. ගල ඇති ස්ථානය අනුව කොන්දේ හෝ යටිබඩේ වේදනාව ඇති විය හැකියි.

මුත්‍රා ගල් ඇති බවට වෛද්‍යවරයකු විසින් සනාත කර ගත් පසු , ගල පිහිටා ඇති තැන, එහි ප්‍රමාණය , වකුගඩු වල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය, වේදනාව, ආසාධිත බව, රෝගියාගේ සෞඛ්‍යය, වෙනත් අසනීප , ශල්‍යකර්මයකට ඇති යෝග්‍යතාවය වැනි දේවල් මත ප්‍රතිකාර කල යුතු ක්‍රමය තීරණය කරනවා.

ඒ අනුව ගලේ ප්රමාණය මිලි මීටර් 5කට වඩා අඩු අවස්ථා වලදී, මුත්‍රා වාහිනී ප්‍රසාරණය වීමට ඖෂධ ලබා දී , ගල ස්වභාවිකව පිට වීමට ඉඩ සලසනවා. ගල් දිය කිරීමේ ඖෂධ ඇති නමුත්, ඒවා යොදාගත හැක්කේ වර්ග 10 ක් පමණ වන මුත්‍රා ගල් වර්ග අතරින් , යූරික් අම්ල ගල් සහ සිස්ටීන් ගල් යන වර්ග දෙකට පමණයි.

ECSW හෙවත් කම්පන තරංග භාවිතය ලෙස හඳුන්වන මෙම ක්‍රමයේදී , වකුගඩු සහ මුත්‍රා නාලයේ ඉහල කොටසේ ඇති ගල්, කම්පන තරංග මගින් මිලිමීටර් 2කට වඩා කුඩා කොටස් වලට බිදීම සිදු වෙනවා. පසුව මේවා මුත්‍රා සමඟ පිට වීමට ඉඩ හරිනවා.

මුත්‍රා නාලය දිගේ කැමරාවක් සහිත සිහින් උපකරණයක් ඇතුලු කොට , ගල ඇති ස්ථානයටම ගමන් කරවා, ගල කොටස් වශයෙන් ඉවත් කිරීම හදුන්වන්නේ, එන්ඩොස්කෝප් භාවිත ක්‍රමය ලෙසයි. මෙම ක්‍රමයේදී ගල සහමුලින්ම ඉවත් වන බව තහවුරු කල හැකි වෙනවා.

ඉහත ප්‍රතිකාර ක්‍රම සියල්ලටම වඩා, මුත්‍රා ගල් සදහා වර්ථමානයේ බහුලවම සිදු කෙරෙනේ , PCNL නම් ශල්‍යකර්මයයි. පැරණි ශල්‍ය ක්‍රම වලදී තරම් විශාල කැපුමක් දැන් මේ ශල්‍ය කර්මය සදහා අවශ්‍ය වෙන්නේ නෑ. ඇත්තෙන්ම මෙය සෙන්ටිමිටරයක තරම් කුඩා කැපුමකින් සිදු කරන සැත්කමක්. ගල කුඩා කොටස් වලට කඩා, කැබලි ඉවත් කිරීමයි මෙහිදී කරන්නේ. සැත්කම සිදු කරන්නේ වේදනා නාශක ලබා දී, රෝගියා පූර්ණ නිර්වින්දනයකට ලක් කිරීමෙන් අනතුරුවයි. සැත්කමෙන් අනතුරුව රෝගියාට දින දෙකකින් පමණ රෝහලෙන් පිට වී යාමටද හැකියාව තිබෙනවා. එහිදී රෝගියාට වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ ලැබෙනවා. සතියකින් පසුව ඔහු සාමාන්‍ය තත්ත්වයට පත් වීමද සිදු වෙනවා.

මූත්‍රා ගල් ඇති වීම වලක්වා ගැනීමට කල හැකි දේවල් අපි දැන් බලමු.

අංක 01 වෙන්නේ ජලය වැඩි වශයෙන් පානය කිරීම. මෙය ඉතාම වැදගත් . දිනකට පානය කල යුතු ජල පරිමාව එක් එක් පුද්ගලයා මත, මහන්සි වෙන ප්‍රමානය අනුව, දේශගුනය අනුව වෙනස් වනවා. එබැවින් මූත්‍රාවල පැහැය සුදු පැහැයට හැරෙන ප්‍රමාණයට , ජලය පානය කිරීම නිර්දේශ කරන්න පුලුවන්. දෙහි වැනි පාන වර්ග බොන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

ඒ වගේම ඔබගේ බර උසට සරිලන ප්‍රමාණයට අඩු කර ගැනීමත් වැදගත්.

අපි කලින් කිව්වා නේද ඔක්සලේට් අධික ආහාර කීපයක් ගැන. රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ කියන මේ ආහාර හැකි තරම් අවම කරන්න.

දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ශරීරයට ලබා ගන්න.

අධික ලෙස මස් අනුභවයෙන්වලකින්න. මොකද ප්‍රෝටීන් වැඩි උනාමත් මුත්‍රා ගල් හැදෙනවා කියලා අපි කලින් කිව්වා.

වරක් රෝගය වැලදුනු කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් අනුව නිසි කලට පූර්ව හදුනාගැනීමේ පරීක්ෂණ වලට හරියටම සහභාගී වෙන්න.

ක්ෂණික ආහාර හා ලුණු අධික අහාර හැකි තරම් අවම කරන්න.

මධ්‍යසාර භාවිතයෙන් වලකින්න, නැතිනම් භාවිතය අවම කරන්න.

එලවලු සහ පලතුරු වැඩි වශයෙන් අහාරයට ගන්න.

එහෙනම් යාලුවනේ මේ දේවල් ගැන ඔබේ අවධානය අද සිටම යොමු කරන්න. මොකද මුත්‍රා ගල් ඇති වීම අද වන විට බොහොම සුලභ රෝගයක් නිසා. කාර්යබහුල ජිවන රටවත් එක්ක ඔබටත් දන්නෙම නැතුව මෙම රෝගය වැළදෙන්න පුළුවන්. මේ පිලිබදව ඔබේ මිතුරන් හා ආදරණියන් දැනුවත් කරන්න පහලින් ශෙයා කරන්න. තවත් මෙවැනි වැදගත් ලිපියකින් හමු වෙමු. ඔබට සුබ දවසක් !!!

Add Comment