රසට මාළු හදන්න වෙනස්ම ක්‍රම 7ක් – හැමදාම එකම විදියට හදනවාට වඩා මේ ක්‍රම වලට හදලා බලන්න

හැමදාම වගේ රසවත් කෑම අරන් එන අපි ඔයාලට අදත් රස වෙනසක් කරන්න හදන්නේ මාළු වලින්.මාළු කන්න අපි හැමෝම කැමතියිනේ..හැමදාම එකම විදියට හදනවාට වඩා වෙනස් රස ක්‍රම 7ක්ම අද අපි කියල දෙනවා.හදන්න හරිම ලේසියි..අදම පොඩි try එකක් දෙන්න..බලන්නකෝ මේ රස 7ම හදලා…

රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල් හදමු

මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි ‍.විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය. ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැක එසේ සකස් කරගන්නා ආකාරය ප්‍රමිතියටම පහතින් දක්වා ඇත.

අවශ්‍ය දෑ

මාළු කිලෝ ග්‍රෑම් එකක් (බලයන්,තලපත් හෝ කෙළවල්ලන් වඩාත් රසවත්ය)
ගොරකා ග්‍රෑම් 10 ක් පමණ
ගම්මිරිස් තේ හැදි 02 ක් පමණ
අමුමිරිස් කරල් 4ක් 5ක්
කහ තේ හැඳි කාලක් පමණ
ලුණු මේස හැඳි 01
සුදු ළූණු බික් 4 ක්
වියළි මිරිස් තේ හැඳි 01 ක්
රමිපෙ කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට,තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ කුරුඳු කැබැල්ලක්, කරාබු නැටි කිහිපයක්,

සාදන ක්‍රමය

මාළු කිලෝ ග්‍රෑම් 01 තරමක කුඩා කැබලි කපා හොඳින් සෝදාගන්න සොදාගන්නා විට දෙහි ඇඹුල් ස්වල්පයක් දඑක්කරගන්න පසුව ගොරකා කැබලි ටික උණු වතුරට දමා මද වේලාවකින් මිරිස් ගලක් භාවිතා කර අඹරාගන්න ඉඟුරු, සුදු ළූණු හා වියලි මිරිස් ද අඹරා ගන්න

ඉන්පසුව ගොරකා, ගම්මිරිස්, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, ඉඟුරු, වියලි මිරිස්, සුදු ළූණු, කුරුඳු, ලුණු ,කරාබු නැටි ආදී සියල්ලම මැටි බඳුනක (මැටි බඳුන පතුලට කෙසෙල් කොළයක් අතුරා ගන්න) දමා හොදින් අතින් මිශ්‍ර කරගන්න පසුව එයට වතුර කෝප්පයක් පමණ එක්කර වතුර හි‍‍ඳෙනතුරු සාමාන්‍ය රස්නයකට අඩිය යාන්තමට රොස් වන තුරු තැමිබෙන්නට හරින්න.

විශේෂ කරුණු- තම රුචිකත්වය පරිදි ගම්මිරිස් හා වියළි මිරිස් අනුපාතය වෙනස් කරගත හැක.

මාළු ඩෙවල්

ඔන්න අද කියලා දෙන්න යන්නෙ “මාළු ඩෙවල්” එකක් හදාගන්නේ කොහොමද කියලා..බලන්නකෝ එහෙනම් “මාළු ඩෙවල්” හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්

තලපත් මාළු 500g
ලොකු ළුණු 50g
තක්කාලි ගෙඩි 02
මාළු මිරිස් කරල් 06
අමුමිරිස් කරල් 04
කෑලි මිරිස්‌ තේ හැදී 04
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
දෙහි ගෙඩි 01
සුදුළුණු තේ හැදී 01 (සිහින්ව කපාගත්)
ඉගුරු තේ හැදී 1/2 (සිහින්ව කපාගත්)
කරපිංචා ස්වල්පයක්
පදමට ලුණු
සොයා සෝස් තේ හැදී 04
තක්කාලි සෝස් මේස හැදී 03
සුප් කැට 01
සිනි තේ හැදී 1/2
එළවළු තෙල් (බැද ගනීමට)
වතුර ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පළමුව සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න. ඉන් අතුරුව එයට දෙහියුෂ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර අත ගා පදම් වෙන්න (සීසන් වෙන්න) විනාඩි 15 පමණ තබන්න. ඉන්පසු ලොකු ළුණු, මාළු මිරිස්, තක්කාලි, ඩෙවල් හැඩයට කපා ගන්න. (ඔයාලා කැමති හැඩයකට උනත් කපාගන්න පුලුවන්.)

අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් දමා තෙල් රත්වූ පසු මාළු කැබලි තෙලට දමා හොදින් බැද ගන්න.
ඉන් පසු පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු කපා ගන්නා ලද සුදුළුණු සහ ඉගුරු එකතුකර, රන් පැහැය වූ පසු එයට කරපිංචා, ලොකු ළුණු සහ මාළුමිරිස් එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න.

අනතුරුව එයට කැලි මිරිස් සහ සොයා සෝස් ස්වලපයක් මිශ්‍ර කර, බැදගත් මාළු කැබලිද එයට එකතු කර, ලිපේ ගින්දර මදක් අඩුකර, එයට තක්කාලි සෝස්, සිනි සහ අනිකුත් රස කාරක මිශ්‍ර කර විනාඩියකින් පමණ වතුර ප්‍රමානවත් පරිදි එකතු කර ලිපෙන් ඉවතකර ගැනීමට පෙර ඩෙවල් හැඩයට කපා ගත් තක්කාලි කැබලි එකතු කර හැකි විගස ලිපෙන් බාගන්න. එච්චරයි! දැන් තියෙන්නෙ ඩෙවල් එක වෙන භාජනයක  දාලා කෑම මේසයට යවන්න විතරයි.

වැදගත්: ඔයාලට අවශ්‍යනම් මේකට කංකුන් සහ ලිස් එකතු කරගන්න පුලුවන්. හැබැයි කංකුනුයි ලීසුයි දානවානම් දාන්න ඕනෙ අන්තිමට. එහෙම නැතුව මුලින් දා ගත්තොත් එහෙම කංකුන් සහ ලීස් වල පාටයි රසයයි වෙනස් වෙනවා.

ස්පයිසි ෆිෂ් ෆ්‍රයි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පරා පැටව්, සාලයෝ, හුරුල්ලෝ වගේ මාළු ජාති බදිනකොට අපි පාවිච්චි කරන ක්‍රමයක් ගැන. සරලවම කියනවනම් මිශ්‍රණයක මාළු දවටලා ඇරන් තෙල් වල බැදගන්න තමයි යන්නෙ. අපි මේකෙදී හදාගන්න මිශ්‍රණය කෑලි මාළු බදින්න ගන්න කොටත් පාවිච්චි කරන්න පුලුවන්.

අවශ්‍ය දේවල්

කුඩා මැකරල් මාළු 4 (250g ක් පමණ)
වියළි මිරිස් කරල් 7 – 8ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
චොප් කර ගත් (පොඩියට කපා ගත්ත) අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
සුදුලූණු බික් 6 – 7ක්
ගම්මිරිස් ඇට තේ හැදි 1 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
කහ කුඩු තේ හැදි ¼ – ½ ක් පමණ
කුරුඳු පොතු කෑල්ලක්
කරාබු නැටි 1 – 2ක්
සීනි තේ හැදි ½ – 1ක් පමණ
විනාකිරි මේස හැදි 3 – 3 ½ ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
ලුණු (රස අනුව)
ඔලිව් තෙල් මේස හැදි 1ක් පමණ
පොල් තෙල් (බැද ගැනීමට)

සාදා ගන්නා ආකාරය

මුලින්ම විනාකිරි ටික භාජනයකට දාලා ඒකටම වියළි මිරිස් කරල් ටිකයි, චොප් කපු ඉඟුරු ටිකයි, සුදුලූණු බික් ටිකයි, ගම්මිරිස් ඇට ටිකයි, කුරුඳු පොතු කෑල්ලයි, කරාබු නැටි ටිකයි දාලා හොදට කලවම් කරන් විනාඩි 30 – 45ක් විතර විනාකිරි වල පොඟවලා තියෙන්න අරින්න.
ඒ අතරතුරේ මාළු ටික සුද්ද කරන් හොදට සෝදලා පිරිසිදු කරන් පිහියකින් හරහට ඉරි ගහ ගන්න. (පහළ පින්තූර බැලුවහම පැහැදිලි වේවී.)

ඊට පස්සේ කලින් විනාකිරි වල පෙඟෙන්න දාපු ඔක්කොමත් එක්ක ලුණුයි, සීනියි, කහ කුඩුයි, ඔලිව් තෙලුයි බ්ලෙන්ඩර් එකට දාලා පේස්ට් එකක් වෙන්න හොදට බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. (බ්ලෙන්ඩර් කරන කොට වතුර එකතු කරන්න එපා. කෑලි හිටින්නේ නැති විදියට බ්ලෙන්ඩර් කර ගන්න.)

දැන් මාළු වලට හදා ගත්ත පේස්ට් එක දාලා මාළුන්ගෙ ඇතුලට පේස්ට් එක කා වදින විදියට හොදට දවට ගෙන විනාඩි 30 – 45ක් විතර පදම් වෙන්න තියන්න. (මුළුතැන්ගේ පැත්තට අලුත් අය මාළු ටික තලලා කරලා එහෙම පදම් කරන්න හදනවා එහෙම නෙමෙයි ඕන්.. මිශ්‍රණය දවටලා තිබ්බම මාළු ටික ඉබේම පදම් වෙනවා.)

පස්සේ පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න දෙන්න. තෙල් රත් වුණාට පස්සේ මාළු ටික රන්වන් දුඹුරු පාට වෙනකන් දෙපැත්ත හරවලා බැද ගෙන රස බලන්න.

වැදගත්: මේ විදියට පරා පැටව්, සාලයෝ, හුරුල්ලෝ වගේ මාළු ජාති හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ පේස්ට් එක කපපු මාළු බදින්න ගන්න කොට වුණත් පාවිච්චි කරන්න පුළුවන්. තව මේ පේස්ට් එක හදා ගන්න කොට බ්ලෙන්ඩර් කර ගන්නේ නැතුව ගලේ අඹර ගෙන වුණත් හදා ගන්න පුළුවන්. විනාකිරි වෙනුවට දෙහි ඉස්ම හරි, සියඹලා ඉස්ම හරි එකතු කර ගන්න පුළුවන්.

මාළු තෙම්පරාදුවක් දමමු

හැමදාම මාළු එකම විදිහට හදන්නෙ නැතුව මේ විදිහටත් හදලා බලන්නකෝ. එහෙනම් බලන්නකෝ මේක හදන්නේ කොහොමද කියලා…

අවශ්‍ය දේවල්

පොඩි මාළු (සාලයා, පොඩි හුරුල්ලන්)
පොඩි රට ළුුනු ගෙඩියක්
අමු මිරිස් කරල් 4/5ක්
සුදුළුුනු බික් 2
කරපිංචා ටිකක්
රම්ප
කෑලි මිරිස් මේස හැඳි 1ක්
තෙල් ටිකක්
කහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කුඩා ගොරකා අන්ඩක්

සාදාගන්නා ආකාරය

මාලු පිලී යන්නට හොදින් සෝදා ගන්න.(දෙහි හෝ විනාකිරි ටිකක් ලුනු සමඟ දැමූ විට හොදින් පිලී ගතිය යයි). පසුව මිරිස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු කුඩු, දමා හොදින් මිශ්‍ර කරගෙන පසෙකින් තබා ගන්න. බදුනකට තෙල් ටිකක් දමා ලිප තබා රත් වනවිට කපාගත් ළුුනු, අමුමිරිස්, රම්ප, කරපිංචා, සුදුළුුනු, දමා තෙම්පරාදු කරගන්න.

යන්තම් රන්වන්පාට වූ විට මාලු එයට දමා කලවම් කර, අඩු ගින්දරේ වසා තබන්න. විටින් විට සෙමින් කලවම් කරගන්න. (නැත්නම් අඩිය අල්ලන්න පුලුවන්) මාලු හොදින් ඉදුණු පසුව ලිපෙන් බාගන්න.(ගොරකා වෙනුවට අවසානයේ දෙහි ඉස්ම ටිකක් ද දමා ගත හැක.)

කිරි මාළු (මාළු කිරට)

අවශ්‍ය දේවල්

මාළු ග්‍රෑම් 500 යි (කෑලි මාළු තමයි ගොඩක් වෙලාවට ගන්නේ)
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2 යි
තුනපහ කුඩු තේ හැඳි 2 යි
කහ ස්වල්පයක්
සුදු ළූණු බික් 3 යි
අමු ඉඟුරු කැබැල්ලක්
අමු මිරිස් කරල් 3 යි
ගොරකා කැබැල්ලක්
රතු ළූණු ගෙඩි 5 යි
රම්පෙ, කරපිංචා
කුරුඳු පොත්තක්
පොල් කිරි කෝප්ප 1 යි
අබ ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණ

සාදාගන්නා ආකාරය

කපා සෝදා ගත් මාළු බඳුනකට දමන්න. ඉඟුරු, සුදු ළූණු අඹරා එයටම දමන්න. කිරි හැර අනෙකුත් ද්‍රව්‍ය මාළු සමග එයට දමන්න. සියල්ල හොඳින් කලවම් කර අතගා තබන්න. ලුණු ඇඹුල් ඇල්ලූ පසු මිටිකිරිද දමා කලවම් කරන්න. ඉන්පසු තෙම්පරාදුවට අවශ්‍ය දෑ ළිප තබා අබ ඇට ටිකද දමා අබ පුපුරන විට මාළු මිශ්‍රණය එයට දමා පියන වසා මදගින්නේ උයන්න. වරින් වර සොලවමින් උයාගන්න (මාළු කැබලි වීමට ඉඩ ඇති හෙයින් වැඩිය හැදි ගාන්න එපා. ඒ වෙනුවට වලඳ වරින් වර සොලවමින් උයාගන්න.)

වැදගත් – ගොඩක් හැදි ගෑවොත් මාළු කුඩු වෙන්න, කැබලි වෙන්න, එහෙමත් නැත්නම් හොද්දටම දිය වෙන්න බලනවා.

වෙනසකටත් එක්ක මාළු මේ විදිහට උයමුද?

ඔන්න මහත්තුරුන්ට උදෙට බත් බදින නොනලාට මේක ගොඩක් උපකාරී වෙව්.

අවශ්‍ය දේවල්

තලපත් මාළු (හෝ ඔනම මාළු වර්ගයක්)
ලුනු සහ දෙහි ඇඹුල් ස්වල්පයක්
තෙල්
ලොකු බිළුනු
අමුමිරිස්
තක්කාලි
සුදුලුනු
ඉගුරු
රම්ප
කරංපිචා
එනසාල්
කුරුපොතු
නොබැදපු මිරිස්කුඩු
ගම්බිරිස් කුඩු
ගොරක
මිටිකිරි කොප්පයක්

සාදාගන්නා ආකාරය

තලපත් මාළු හෝ ඔනම මාළු වර්ගයක් අරන් සාමාන්‍යය කැබිලිවලට කපා ගන්න. එයට ලුනු සහ දෙහි ඇඹුල් ස්වල්පයක් දාමා සිසන් කර ගන්න. (හොදට අනාගන්න). දැන් මාළු ගැඹුරු තෙලෙ බැද ගන්න රන්වන් පාට වෙනකන්. දැන් ලොකු බිළුනු ගෙඩියක් හො දෙකක් රවුමට පෙති කපලා ගන්න. අමුමිරිස්, තක්කාලි කපාගන්න.

සුදුලුනු, ඉගුරු සිහින්ව තලා ගන්න. රම්ප, කරංපිචා, එනසාල්, කුරුපොතු මේ සියල්ල ලැස්ති කර ගන්න. දැන් පැන් එකක් ලිප තබා එයට ඔනම වර්ගයක තෙල් අවශ්‍ය ප්‍රරමාණයට දාමා ගන්න. දැන් ලැස්ති කරගත් අඩුම කුඩුම ටික තෙලෙට දාමාගන්න. දැන් එයට නොබැදපු මිරිස්කුඩු දාමා ගන්න. මිරිස්කුඩු ටික රන්වන් පාට වෙනවා තෙලට දැම්මාම එතකොටම ගම්බිරිස් කුඩු දාමා ගන්න.

දැන් හොදි කවලම් කරන්න ලිපෙ තියෙන අඩුම කුඩුමටිකට මිරිස්කුඩු මිශ්‍ර වෙන්න. දැන් බැදගත් මාළු ටික මිශ්‍ර කරන්න ලිපෙ තියන බිලුනු මිශ්‍රණයට දැන් හොදින් කවලම් කර කුඩා ගොරක කැල්ලක් දාමා මිටිකිරි කොප්පයක් දාමා නටවා ලුනුඇඹුල් බලා ලිපෙන් බාගන්න.

මාළු මිරිසට සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

මාළු ග්‍රෑම් 500 යි
මිරිස් කුඩු මේස හැඳි 1 1/2 යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි
රම්පේ, කරපිංචා
අමු ඉගුරු කැබැල්ලක්
සුදු ළූණු බික් 3 ක්
අමු මිරිස් කරල් 2 ක්
කුරුඳු කැබැල්ලක්
ගොරකා කැබලි 4 ක් පමණ
ලුණු අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

මාළු කපා සෝදා ගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු අඹරාගන්න. ගොරකා ද අඹරාගන්න. බඳුනකට මේ සියළුම දුව්‍ය සමග මිරිස් කුඩු ඇතුළුව මාළුද දමන්න. හොඳින් කළවම් කර මාළු කැබලි වැසෙන සේ වතුර ටිකක්ද දමා කළවම් කර මද ගින්නේ පිසගන්න.

(ඔබට අවශ්‍යනම් ගොරකා, ඉගුරු,සුදු ළූණු අඔරන්නේ නැතිව එකතු කරන්නත් පුඵවන්.)

මේ ලිපිය share කරන්න…හදලා බලලා රසත් විදලම අපිට කියන්නකෝ…

Add Comment