රුවන්වැලි මහා සෑයෙන් ඇසෙන විශ්මිත ශබ්ද පූජාව ගැන ගොඩක් දෙනෙක් නොවැසූ අරුම පුදුම කතාව

ප්‍රාතිහාර්ය යන්න බෞද්ධ ජනයාට නුපුරුදු වචනයක් නෙවෙයි. ඈත ඉතිහාසය ගත්තත්, මෑත යුගය ගත්තත් නොයෙක් දෙනා දුටු ප‍්‍රාතිහාර්යයන්, විශ්මිත දේ, අද්භූත සිදුවීම් ගැන අසන්නට ලැබෙනවා. ඇතැම් අය මෙවැනි දේ දැක මහත් සතුටට පත්වෙනවා. සමහරු බයට පත් වෙනවා. තවත් අය පුදුමයට පත් වෙනවා. කෙසේ හෝ වේවා ඉඳහිට ඇසට හසුවන මෙවැනි දේ එකවරම ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට නොහැකියි.

බුදුරජාණන් වහන්සේ අවස්ථා කිීපයක් යමාමහ පෙළහර පෑවා. ඒ දුටු පෘථග්ජනයෝ විශ්මයට පත් වෙලා තියෙනවා. ශරීරයෙන් මහත් වූ ගිනි ජාලා පිටකරමින්, මහා දිය කඳන් පිටකරමින් ප‍්‍රාතිහාර්ය දක්වන මේ මනුෂ්‍යයා කවුද? බුදුරජාණන් වහන්සේ මහියංගනයේදී පෙළහර පෑ අවස්ථාවේදී යක්ෂයන් ඒ දැක හිස් ලූ ලූ අත දිවූ බව කියැවෙනවා. මේ තුළින් අපට දැනෙන විශේෂම දෙය නම් ඒ වනවිට කිසිවෙක් මෙවැනි අපූරුවූත් බිය ඉපදෙන ප‍්‍රාතිහාර්යයක් දැක නොතිබීමයි.

යක්ෂ ගෝත‍්‍රිකයන් පෙළහර දැකීමෙන්ම දමනය වූ බව මහියංගනය පූරාණය බැලීමේදී අපට පෙනී යනවා. බුදුරජාණන් වහන්සේ එවැනි මහත් වූ ප‍්‍රාතිහාර්යන් පෑමේ හැකියාව තිබුණත් උන්වහන්සේ ඒ ප‍්‍රාතිහාර්යය පෑම කළේ අවස්ථා කිීපයකදී පමණක් බව බෞද්ධ ඉතිහාසය දෙස බැලීමේදී අපිට පෙනී යනවා. එවැනි ප‍්‍රාතිහාර්යයන් පෑමේ ශක්තිය බුදුරජාණන් වහන්සේට ලැබුණේ උන්වහන්සේ විසින් දියුණු කර ගත් ඤාණ සමුදායේ ප‍්‍රතිඵලයක් වශයෙනුයි

ධ්‍යාන ආදී විවිධ ඥාන අංග දියුණු කර ගත් ඇතැම් රහතන් වහන්සේලා ද තමන්ට හැකි පමණින් ප‍්‍රාතිහාර්ය ශක්තීන් දියුණු කර ගත්තා. නමුත් ප‍්‍රාතිහාර්යය පෑම අත්‍යාවශ්‍යම මොහොතක හැර නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවක සංඝයාට දැනුම් දී තිබුණා. එයට හේතුව මේ ප‍්‍රාතිහාර්යන් දකින පෘථග්ජනයා එය මිම්මක් කොට ගෙන විවිධ වූ ස්ථාවරයන්හි පැළපදියම් වන නිසාවෙන්. ඇතැම් පෘථග්ජනයන්ට ධර්මාවබෝධය නොලබා ප‍්‍රාතිහාර්යය පමණක් ලැබීමේ වුවමනාව ඇති වෙනවා. ඒ වගේම සමහරුන්ට එයින්ම වෙනත් ලාභ ප‍්‍රයෝජන ලබා ගන්න හැකි වෙනවා. දේවදත්ත හිමියන්, රහත් නොවී පංච අභිඥා ලැබූ නිසා උන්වහන්සේ පෘථග්ජනයන්ගේ ලාභ ප‍්‍රසාද ලැබූ ආකාරය ධර්මයේ විස්තර වෙනවා.

මෙවැනි හේතුන් නිසා අත්‍යවශ්‍ය මොහොතක හැර ප‍්‍රාතිහාර්ය නොපාන ලෙස බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අවවාද කර තිබුනා. ඒ අනුව බුදුන් වහන්සේත්, රහතන් වහන්සේලාත්, පිරිණිවන් පා වදාළත් උන්වහන්සේගේ ධාතූන් ඒකරාශී වූ තැනෙක , යම් යම් ප‍්‍රාතිහාර්යයන් ඉඳහිට නමුත් සිදු නොවෙතැයි කිව නොහැකියි.

මේ සම්බුදු සසුන පන්දහසක් කල් පවතින බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. ඒ පන්දහසින් තවමත් ගෙවී ඇත්තේ හරි අඩක් පමණයි. මේ අවුරුදු පන්දහස මුළුල්ලේම බුද්ධ දේශනාව, බුද්ධ අණ ලොව පවතිනවා. එයින් ද ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටන බවත් සිංහල දේශය රැුකගන්නා ලෙසත් බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ දී සක‍්‍ර දෙවියන්ට අනුදැන වදාළ බවත් සදහන් වෙනවා. සක‍්‍ර දෙවියෝ ලංකාදීපය රැක ගැනීමේ වගකීම තම දේව සභාවේ සිටි විෂ්ණු දේවරාජයන්ට පැවරූ බවද කියවෙනවා. බුදුන් වහන්සේ දෙවුරම් වෙහෙර වැඩ වසද්දීත්, වෙනත් වෙහෙර විහාරවල වැඩ වසද්දීත් උන්වහන්සේ වැඩ වසනා තැනට මහත් වූ ආලෝක ධාරා විහිදුවාගෙන මැදියම් රැයේ දෙවියන් වැඩම කළ බව ඔබ අසා ඇති. විශේෂයෙන් දෙවියන් පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප‍්‍රශ්න විචාල ආකාරයත්, දෙවියන් පැහැදීමට පත්වූ ආකාරයත්, දෙවියන්ට කළ සූත‍්‍ර දේශනාවක් ධර්මයෙහි විස්තර වෙනවා. ඒ අනුව දේව සභාව නිරතුරුව බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැනට වැඩම කළ ආකාරය ගැන බෞද්ධ සාහිත්‍යයේ සෑම තැන්හිම සදහන් වෙනවා.

බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ධාතුන් වහල්සේලා බුද්ධාවවාදය අනුව බෙදී ගියා. එසේ බෙදී ගිය ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් වැඩිම කොටසක් දැන් වැඩ සිටින්නේ ලංකාද්වීපයේ. ඒ වැඩ සිටින ධාතූන් වහන්සේලාට නියම පුද සත්කාර කෙරෙන පූජනීයම දේශය ලංකාව බව පැහැදිලිව කිව හැකියි. එබැවින් පන්දහසක් කල් ශ‍්‍රී සර්වඥධාතු රකින ලංකාද්වීපයේ ඒ ධාතුන් පිහිටි තැන්වල විශ්මිත දේ සිදුවීම අරුමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ දී ලංකාද්වීපය රකින්නට දේව සභාවට භාරදීම තුළම , දෙවියන් ශ‍්‍රී සර්වඥ ධාතුන් වැඩ සිටින තැනට වැඩම වීමද අරුමයක් නැහැ. ජීවමාන බුදු හිමියන් නැති කල දැන් අපට ජීවමාන බුද්ධ රත්නය වන්නේ ශ‍්‍රී සර්වඥ ධතුන් වහන්සේලායි. ඒ සර්වඥ ධාතුන් වසන තැන විවිධ වූ ප‍්‍රාතිහාර්යයන් පැවතීම, දෙවියන් මහත් වූ ආලෝක දහරා විහිදුවා ගෙන වැඩම වීම, ආදී දහස් ගණනක් ඇසට හසුවන හසු නොවන පුදුම සහගත දේ සිදු වීමේ හැකියාව තිබෙනවා.

දැනට මුළු ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප‍්‍රමාණයක් ඒකරාශී වී ඇති එකම තැන ස්වර්ණමාලී චෛත්‍යයි. එනම් රුවන්වැලි මහා සෑයයි. ද්‍රෝණයක් පමණ ධාතුන් රුවන්වැලි සෑ ගර්භයේ නිදන් කොට ඇති බවයි පොත් පත්වල සදහන් වෙන්නේ. එබැවින් බුද්ධ ශරීරයේ විශාල කොටසක් රැුඳී ඇති ඓතිහාසික පින්බිම රුවන්වැලි මහ සෑයයි. එතැන ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිනවා වන් හැගීමක් අදත් ලෝකවාසී සියළු බෞද්ධයන්ට පවතීනවා.

තථාගතයන් වහන්සේ ජීවමානව දඹදිව වැඩ සිටිද්දී උන්වහන්සේ වැඩිම කාලයක් දිවා රාත‍්‍රී විහරණය කෙළේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේයි. නමුත් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව, ඒ ලොවුතුරා බුදුන් වහන්සේ ජීවමාන වන්ව වැඩවසන අසහාය පින්බිම ලක්දිව ස්වර්ණමාලී මහා චෛත්‍යයයි. ඒ බව මතු ලොව දකින නුවණින් හැඳින බුදුහිමියෝ දේව සභාවට දැනුම් දුන්හ. එපමණක් නොව ගෞතම සම්බුදු ශාසනය පන්දහසක් ගෙවීමෙන් නිමාවන්නේ යම් දිනෙකද එදාට ස්වර්ණමාලී බිමට සියළු සර්වඥධාතු ඒකරාශීවී අහසේ බුදු රූපයක් මැවී ප‍්‍රාතිහාර්ය සිදුවන බව බුද්ධ අධිෂ්ඨානයක් හැටියට බෞද්ධ පොතපතේ විස්තර වෙනවා. එවැනි අසිරිමත් පුණ්‍ය භූමියක් ලෙස බෞද්ධ පොතපත පුරාම මේ රුවන්වැලි මහ සෑ පින් බිම ගැන සදහන් වෙනවා.

එවැනි ඓතිහාසික පුණ්‍ය භූමියක ලෝකවාසී බෞද්ධයෝ වන්දනාමාන කරන තැනක, එදා දෙවුරම් වෙහෙර වන්ව අද බුදු හිමියන් වැඩ වසන රුවන්වැලි මහ සෑයේ කොතරම් විශ්මිත දේ ප‍්‍රාතිහාර්ය ශක්තීන් සිදු වෙනවා ඇතිද ? ඇසට පෙනෙන ඇසට නොපෙනෙන දේ බොහොමයකි.

අපට හැගෙන හැටියට, ද්‍රෝණයක් සර්වඥ ධාතු ඇති මේ පින්බිමේ යම් යම් බුද්ධ ප‍්‍රාතිහාර්යන් තියෙන්නට පුළුවන්. රහත් ධාතු මේ ස්ථානයට වඩින්නට පුළුවන්. එදා දෙවුරම් වෙහෙරට බුදුහිමියන් දකින්නට දඹදිව සතර දිග්භාගයෙන් භික්ෂු භික්ෂු” උපාසක උපාසිකාවෝ පැමිණියා. රහත් භික්ෂු භික්ෂුණියන් වැඩම කළා. උන්වහන්සේලා පිරිනිවන් පා ඇතත් ඒ ධාතුන් වහන්සේලා අද ස්වර්ණමාලී පුණ්‍ය භූමියට නොවඩිනවා යැයි අපට කීමට නොහැකියි.

ථූපාරාමයේ දකුණු අකු ධාතු නිදන් කළද , අකු ධාතුව අහසට පැන නැගී බුදු රුව මැවුනාක් මෙන්, ස්වර්ණමාලී භූමියට එදා සැරියුත් මුගලන් මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, රට්ඨපාල, අංගුලිමාල. සීවලී, චුල්ලපන්ථක ආදී මහරහත් ධාතුන් අහසින් වැඩම කිරීම, එම මහරහත් රූප මැවී ජීවමාන බුදුහිමියන් මෙන් වැඩ සිටින ස්ථානය වන්දනා කිරීම වැනි කාරණා සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක.

මනුෂ්‍ය ලෝකයට අවුරුදු දහස් ගණනක් යනු දිව්‍ය ලෝකයට ඇතැම්විට දවසකි. පැය කීපයකි. දිව්‍ය ලෝකයේ දවසක කාලය ඒ සා දීර්ඝයි. ඒ අනුව එදා බුදුරාජණන් වහන්සේගෙන්ම බණ ඇසූ දෙවියන්ට අද දක්වාවූ කාලය එක දවසක් පමණයි. එය ඉතාම ඉතාම සුළු කාලයක්. ලක්දිව ආරක්ෂා කරන්නැයි සක‍්‍ර දෙවියන්ගෙන් බුදුහිමියන් කළ ඉල්ලීම මේ දැන් සිදු වුවාවන් එකකි. මේ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවියෝ උන්වහන්සේ වැඩ සිටින තැනට එදා මෙන් එළි විහිදුවාගෙන ඒමද ඉතාම සාමාන්‍ය කාරණයක් ලෙස සිතීමට පුළුවන්.

අනුරාධපුරේ ජීවත් වන විශ‍්‍රාමික මහවැලි සංවර්ධන නිලධාරී මාමිණියාවේ ඉලංගසිංහ මහතා අපට මේ සම්බන්ධව බොහෝ කතා කිව්වා. මම පුංචි ඉතිහාස කතාවකින් පටන් ගන්නම්. අග්බෝ රජතුමා රුවන්වැලි මහා සෑයට විශාල පුද පූජාවක්. පින්කමක් කරල තියෙනවා. එතුමා පුද පෙරහරින් චෛත්‍ය වටා ගිහින් තියෙන්නෙ ශබ්ද පූජා නැතිවයි. එහෙම පෙරහරේ යන අයට හේවිසි හොරණෑ සහිතව විශාල ශබ්ද පූජාවක් චෛත්‍ය මළුවෙන් ඇහෙන්න පටන් අරන්. පෙරහැරට යන අතරෙ රජතුමා ඇවිත් මළුවේ ඇවිද ගිහින් තියෙනවා. රජතුමා ශබ්ද පූජාව ඇහෙන දෙසටම ගියා. එහාට යන්න යන්න හේවිසි, හොරණෑ ශබ්දය වැඩියි. මේ ශබ්දය ඇහෙන්නෙ රුවන්වැලි සෑය ඇතුළෙන්. රජතුමා එක තැනකට යද්දී චෛත්‍යයේ ඇතුළට යාහැකි පරිදි දොරටුවක් විවෘත වෙලා තිබිලා තියෙනවා. රජතුමා රාජකීයයන් කිහිප දෙනෙකු සමග චෛත්‍යය ඇතුළට ගිහින්. එහිදී දැකපු දෙයින් රජතුමා විශ්මයට පත්වෙලා.

චෛත්‍යය ඇතුළ දිව්‍ය විමානයක් වගේ ලස්සනයි. ඒ වගේම හරි සුවඳයි. සුවඳ කුටියක් වගේ. රන්වන් පාට ආලෝක ධාරා එළියෙන් බැබළෙනවා. මොකක්ද මේ. ද්‍රෝණයක් පමණ වූ ශ‍්‍රී සර්වඥ ධාතුන්ට පූජාවක්. රජතුමා මේ ධාතුන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ වගේම රජතුමා හේවිසි හොරණෑ කණ්ඩායම වගේම රහත් හාමුදුරුවරු සාදුකාර දෙන වන්දනාමාන කරන මිනිස්සු දර්ශනය වෙලා තියෙනවා. ඇත්තටම මේ දේ අග්බෝ රජතුමාටත් පෙර ඉතිහාසයේ සිදු වෙන්න ඇති. ඒ දේ එතුමාට තමන් කරන ලද මහා පින්කම ආශිර්වාදයක් කොට ගෙන දර්ශනය වුණා. මේ කතාව ඉතිහාස පොත්වල තියෙනවා.

ඒ වගේම අපේ අත්තප්පා මට පුංචි කාලෙදී මීට සමාන තව කතාවක් කිව්වා.

රුවන්වැලි සෑය එක යුගයක හරියට කැලෑ වැවිලා ගරාවැටිලා තිබුණනෙ. පසුගිය කාලෙ චෛත්‍ය වර්තමාන තත්ත්වයට ප‍්‍රතිසංස්කරණයට මූලික වුණේ නාරංවිට හාමුදුරුවෝ. පොතපතේ තියෙන හැටියට ඉතාම ධෛර්ය සම්පන්න වනවාස භික්ෂුවක්. අත්තප්පා කිව්ව හැටියට මේ නාරංවිට හාමුදුරුවෝ වේල් දෙක තුන ආහාර නොවළඳා ඉතාම දුෂ්කර විදිහටයි රුවන්වැලි සෑය ප‍්‍රතිසංස්කරණයට දායක වෙලා තියෙන්නේ. ඒ කාලේ චෛත්‍ය ගොඩනගන්න, අවට පිරිසිදු කරන්න කැති, උදළුමිටි ගෙනත් තියෙන්නෙ නුවර කලාවියෙ ගම්වලින්. ගඩොලූත් එහෙමයි. මිනිස්සු බොහෝම උදවු කළාය කියනවනෙ. ඒ කාලෙ රුවන්වැලි සෑය ප‍්‍රතිසංස්කරණය කරද්දි මේ ශබ්ද පූජාව නිතර ඇසුණු බව අත්තප්පා කියනවා. හැබැයි ශබ්දය ඇහෙනවා විතරයි. මහා හඬින් බෙර ගහනවා. හොරණෑ පිඹිනවා. මොකක්ද මේ… ධාතුන් වහන්සේලාට තේවාව සිද්ධ කෙරෙනවා.

මේ දේවල් අවුරුදු දහස් ගාණක් එක දිගට රුවන්වැලි සෑයෙ සිද්ධ වුණු දේවල්. මේ අලූත් ප‍්‍රතිසංස්කරණයෙන් පස්සෙ චෛත්‍යය ඇතුළට යන්න බැරි වුණාට එදා රුවන්වැලි සෑය තුළට මිනිස්සු ගියා කියනවනෙ. ඇතුළෙදි ද්‍රෝණයක් ධාතු දැක්කා කියනවනෙ. මේ ස්ථානවල කා වැදුණු දේවල් තවමත් දෝංකාර දෙනවා. දැන් ඔය වහල දාපු පාළු ගෙදරකට යන්න. ඒ ගෙදර මිනිස්සු කලින් හිටපු තැනක් නම් ඒ ගේ ඇතුළෙ කතාකරනවා ජනෙල් වහනවා, අතුගානවා මේ වගේ ශබ්ද ඇහෙනවා. ඒවා අපි සලකන්නේ දෝංකාර විදිහට. ඉස්කෝලවලත් ඔයවගේ ශබ්ද තියෙනවනෙ. අන්න ඒ වගේ.

මේ විදිහට අවුරුදු දහස් ගාණක් චෛත්‍ය ඇතුළෙ ශබ්ද පූජා පවත්වපු, තේවා හ`ඩ අදටත් ඇහෙනවා. රාත‍්‍රි කාලයේ මහ සෑ මළුවෙන් කිසිම ශබ්දයක් නැතිව වාඩිවෙලා ඉන්න කොට මේ ශබ්ද පූජාව සමහරුන්ට ඇහෙනවා. ඇහුණු අය ඉන්නවා. මිනිස්සු පුදුම වෙලා සාදුකාර දෙනවා. මහ පූජා පවත්වන්න දුර ඈත පළාත්වලින් මිනිස්සු එනවනෙ. ඒ අය නොයෙක් නොයෙක් පූජා සිද්ධ කරනවා. ඒ වෙලාවට මහ සෑයට මහ පූජාවක් බව දැනෙන කොට මේ ශබ්ද පූජා ඉබේම ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතාම පිරිසිදුව පවිත‍්‍රව මේවා සිදුවිය යුතුයි. කිසිම කෙනෙක් කිළිටිව ඉන්න බෑ. කිළිටි තැන්වලට දෙවි දේවතාවන් වඩින්නේ නෑ. රුවන්වැලි සෑයට පූජා පවත්වද්දී , ශබ්ද පූජා හඬ ගර්බයෙන් ඇහෙන එකක්. මේවා තමයි විශ්මිත දේවල්. මේවා වෙන්නෙ කොහොමද? විය හැකිද කියලා සමහරු ප‍්‍රශ්න කරන්න පුළුවන්. ඒක ඔබේ තීරණයක්.

ලිපි මුලාශ්‍රය – ලංකාදීප

Add Comment