ලෝකයේ විල් ගැන ඔබ නොදන්නා බොහෝ තොරතුරු මෙන්න

විලක් යනු ගොඩබිමින් වටවූ විවිධ වූ විශාලත්වයෙන් යුතු වන මිරිදිය හෝ කරදිය පිරුණු ද්‍රෝණියකි. එසේම පිටාර ගලන වැසි දිය හෝ අපද්‍රව්‍ය ‍රැස් කිරීමට තනන ලද ජලාශයක් ලෙස පටලවා නොගත යුතුය. විල් පිහිටන්නේ බොහෝවිට රටක අභ්‍යන්තරයේ ය. එය මුහුදක හෝ සමුද්‍රයක කොටසක් වන්නේත් නැහැ. ඒවා පොකුණු වලට වඩා බෙහෙවින් ගැඹුරුයි, විශාලයි.

ගංගාවක දිය කඳුරක මෙන් විල් ජලය නිතර ගලා බසින්නක් නොවේ. එසේ වුවත් බොහෝ විල් වලට ජලය ලැබෙන්නේත්, ඉවතට යන්නේත් කුඩා දිය දහරාවක් මඟිනි. විටෙක ගංගාවක මූලය වන්නේ එවන් විලකින් ආරම්භ වන දිය දහරාවකි. නයිල් ගඟේ එක් මූලොප්පත්තියක් වන්නේ වික්ටෝරියා විලයි. ටිබෙට් සානුවේ මානසරෝව විල ගංඟා කිහිපයකටම මූලය වනවා.

ස්වභාවික විල් අපට හමු වන්නේ කඳුකර පෙදෙස් වලින් හෝ ග්ලැසියර් ක්‍රියාකාරිත්වයට නිතරම භාජනය වන හෝ අතීතයේ ග්ලැසියර් පිහිටා තිබූ ප්‍රදේශ වලය. විශාල ගංගා ගලාබසින ගමන් මඟ ආශ්‍රිතවද බොහෝ විල් ස්වභාවිකව පිහිටා තිබේ. මිදී ගිය අයිස් වලින් මිහිතලයට උරුම කර දුන් අක්‍රමවත් දිය බස්නා ගනනාවකින් පමනක් වුවත් සමහර විල් නිර්මාණය වී තිබේ. විල් වලට පොදු එක් සාධකයක් නම් ඒවා සදාතනික නොවීමයි. අවටින් නිරතුරුව ගලා එන පස් හා බොරලු වලින් විල් පතුල කාලයාගේ ඇවෑමෙන් පිරී යනවා. විටෙක එහි ජලය උතුරා යයි. විල් බැමි කඩා වැටී විල් ඉවුර ක්‍රමයෙන් පලල් වී සිඳී යනවා.

පානීය මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතා සඳහාද පානීය ජලය සහ කුඩා ජල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහාද කෘත්‍රිම විල් නොයෙක් රටවල තිබේ. යම් ප්‍රදේශයක කලාත්මක අගය වැඩි කිරීමට සුන්දර සුවදායි විනෝදාත්මක පරිසරයක් නිර්මාණය කිරීමටත් කෘත්‍රිම විල් නිර්මාණය කෙරේ. විලක් ඇතිවිට පරිසර චමත්කාරය වැඩි වෙනවා. විල යන වචනය බෞද්ධ සාහිත්‍යයට ඉතා සම්බන්ධ වේ.විල්ගොමුව, විල්බැඳි දනව්ව යන වචන ඇසුනු විට අපූරු පරිසරයක් සහ සංස්කෘතියක් මතකයට එනවා.

බෞද්ධ සාහිත්‍ය පුරා අනෝතප්ත විල, මුචලින්ද විල, පාරිලේය විල යනාදි සමූහයක් සටහන් වෙනවා. ටිබෙට් සානුවේ හිමාල කඳුවැටියේ පිහිටි මාන්සරෝව විල හින්දු ආගමික පුරා වෘතයන්ට අනුව ශුද්ධ වූ ජල දේහයකි. ලෝකයේ අනෙකුත් විශාල විල් සඳහාද මෙවැනිම වූ මතිමතාන්තර තිබෙනවා. ඒවා බැඳුනු මානව සංස්කෘතියක්ද බිහි වී තිබෙනවා.

විල් සහ අනෙකුත් මිරිදිය ජලාශ වල භෞතික සංසිද්ධිය අධ්‍යනය කිරීම හඳුන්වන්නේ නිම්නවජ්‍ය වශයෙනි. ඒ අනුව විලක් කලාප තුනකට බෙදන්න පුලුවනි.

ඉවුර අසබඩ කලාපය

ජල පෘෂ්ටය අයත් කලාපය – හිරු එලියට වඩාත් විවර වන කලාපය

ගැඹුරු දිය කලාපය – එක එල්ලේ හිරු එලිය නොවැටෙන විසරණය මඟින් හිරු එලිය ලබන කලාපය

ජලය තුලට හිරු එලිය ගලායෑමේ තීවුරතාවය තීරණය වන්නේ විල් ජලයේ බොර ගතිය අනුවයි. බොර ගතියට හේතුව ජලය තුල අවලම්බනය වී ඇති අංශු පැතිර පැවතීමයි. මෙම අංශු හේතුවෙන් විල් ජලයේ පැහැයද වෙනස් වේ. කුණු වී ගිය ශාක ඇති ජලයේ පැහැය කහවන් හෝ දුඹුරුවන් වේ. ඇල්ගී ශාක බහුල විල් වල ජලයේ පැහැය කොල පාටක් ගනී. ගැඹුරු අඩු විල් වල පැහැය රතුවන් දුඹුරු පැහැයක් ගන්නේ පතුලේ ඇති බොර සමඟ යකඩ ඔක්සයිඩ් අඩංගු වන නිසයි. නැතිනම් මලකඩ සහිත වන නිසයි.

දිවා කාලයේ විල් ජලය අවට පරිසරයේ තාපය උරා ගැනීම නිසා පරිසරයේ සිසිල් බවක් ඇති වෙනවා. රාත්‍රියේදී එසේ උරාගත් තාපය නැවත පරිසරයට මුදා හරිනවා. එම නිසා විල් අවට රාත්‍රියේ උණුසුම් බවක් පවතී.විල් ජලයේ බොහෝ විට පිරී ඇත්තේ මිරිදිය යි.

ඉන් බොහොමයක් විල් පිහිටා ඇත්තේ උතුරු අර්ධ ගෝලයේ උස් කඳු වලයි. ලෝකයේ විල් වලින් 60% ක්ම ඇත්තේ කැනඩාවේ ය. එයට හේතුව ජලය බැස යන අක්‍රමවත් ආකාරයයි. ‍ෆින්ලන්තය කියන්නේ දහසක් විල් තිබෙනවා යන්නයි. එම රටේ කුඩා සහ විශාල විල් වල එකතුව පුදුම එලවන සුලුයි. එනම් 187,888 කි. ඉන් විශාල විල් වන්නේ 60,000 ක් පමණි. ඇමරිකාවේ මිනිසෝටා ප්‍රාන්තයද දහසක් විල් ඇති ප්‍රදේශයකි. එහි විල් 10,000 පමණ වේ. කැනේඩියානු ප්‍රාන්තයක් වන මනිටෝබා හිද දස දහස් ගණනක් විල් පවතී.

සමහර විල් වල පිටතට ඇදී යන එකදු ජල දහරාවක් වත් නැත. එම විල් වල ජලය අඩු වන්නේ වාෂ්පීකරණය මඟින් හෝ විල් පතුලට ජලය කිඳා බැසීමෙනි. එවැනි විටෙක විල් ඒවාටම ආවේණික ලක්ෂණ වලින් යුක්ත වේ. ගෝලීය වශයෙන් විල් වලට වඩා පොකුණු ගණන අධිකයි. එසේම විශාල විල් වලට වඩා කුඩා විල් ගණනද වැඩිය. විල් සෑදීමට පාදක වන ස්වභාවික ක්‍රියාවලි ‍රැසක්ම පවතී. පොලව ඇතුලේ භූ තැටි චලනය වී කඳු නිම්නයක් එසවී ගියවිට ඒ අවට ප්‍රදේශයේ ද්‍රෝණි සෑදීය හැකිය. ඒවා තුලට ජලය එක්

රැස් වෙනවා. ග්ලැසියර් ක්‍රියාකාරිත්වය හේතුවෙන්ද එවැනි පෘතිවි අවපාත අක්‍රීයව ඇති වන්නට පුලුවන. එම අවපාත වලට ජලය පිරී යයි. ස්කැන්ඩිනේවියානු රටවලද, සයිබීරියාවේ සහ කැනඩාවේද මෙවැනි විල් දැකිය හැකිය.උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්ද එක්තරා යුගයක සිදුවූ ග්ලැසියර් ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇති වූ බවට පිලිගැනීමක් ඇත. ඝණත්වයෙන් මේ ග්ලැසියර් තට්‍ටු බොහෝ පෙදෙස් වසා පැතිරෙමින් ඉදිරියට යයි.

යලිත් මෙම ග්ලැසියර් ආපස්සට ඇදෙන විට භූ තලය මත බොහෝ වෙනස්කම් අක්‍රමිකතාවන් ඇති වේ. විටෙක ග්ලැසියර් දිය වීම නිසා මහා ගංවතුර තත්වයක් ඇති වූවා විය හැකිය. ඒ සමඟ භූ ඛාදනය ද සිදුවේ. භූමියේ අවපාතන ජලයෙන් පිරී යයි. අයිස් යුගය අවසන් වන විට ලෝ පුරාම සහසක් විල් නිර්මාණය විය.

විලකින් ජලය ගලන්නට මඟක් නොමැති විටෙක එම ජලය මදින් මද ලාවණික ගතියකට හැරවේ. ජලය වාෂ්ප වන විට ඉතිරි ජලයේ ලාවණික ගතිය තවත් සාන්ද්‍ර වේ. අවට පසෙහි ලාවණික ගතිය වැඩී නම් එම ජලයද අනුක්‍රමයෙන් විල් ජලයට ඇදී යයි. එසේ අධික ලවණ සහිත විල් වලට උදාහරණ ලෙස ග්‍රේන් සොල්ට් ලේක්, ඒරල් මුහුද හා මළ මුහුදයි. ගිනිකඳු ආශ්‍රිත ප්‍රදේශ වල ආවාට හා යමහල් විවර වැසි ජලය එක් ‍රැස් වී පිරී යයි. වාෂ්පීකරණය නිරතුරුව සිදුවුනත් ඊට වඩා වැසි ජලය එම කඳු මුදුන් වලට ඇද හැලෙනවා.

මෙවැනි ආවාට හා විවර වල ජලය ‍රැස් වූ විල් හඳුන්වන්නේ ආවාට හෝ යමහල් විවර විල් ලෙසයි. ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ මසාමා කන්ද මුදුනේ මෙබඳු ආවාට විලක් නිර්මාණය වී තිබෙනවා. මසාමා ගිනි කන්ද ඉතා ප්‍රබල ලෙස විදාරණය වූයේ ක්‍රි.පු 4860 දී පමණය. එම පුපුරා යාම කෙතරම් ප්‍රබල වූයේද යත් එම ගිනිකන්ද මේ නිසා ගිලා බැස තිබෙනවා. ගිලා බැසි තැන ජලය පිරී ගොස් මසාමා විල නිර්මාණය වී තිබේ.

ලෝකයේ විශාලම ග්ලැසියර් ආශ්‍රිත විල වන්නේ ඇන්ටාටිකාවේ පිහිටි වොස්ටොක් විලයි. එය ඝණ අයිස් තට්‍ටු වලින් වැසී තිබෙනවා. එම විලෙහි ජලය පවතින්නේ මතුපිට මහා තෙරපුමකින් යුක්තය. යම් හෙයකින් එම අයිස් තට්‍ටුව සිදුරු කර බැලුවේ නම් එහි ජලය මහා දිය කඳක් ලෙස උඩට විදීමට ඉඩ තිබෙන බව විශ්වාස කෙරේ. භූ ඉතිහාසයේ ඉපැරණි විල් බොහෝ සෙයින් ගොඩ වී තිබේ. ඒ භූමි ඛාදනය හා බොර එකතු වී පතුල පිරී යාම නිසයි.

දැනට දක්නට තිබෙන ජලය පිරී ගිය බොහෝ විල් භූ විද්‍යාත්මකව තරුණ අවධියේ පවතී. එහෙත් මහ විල් පැල්ම සහිත ප්‍රදේශයන්හි පිහිටි විල් පාංශු ඛාදනය වන්නේ නැත. එවැනි විල් ලෙස බයිකල් විල හා ටැන්ගනිකා විල නිදසුන් ලෙස ගත හැක. පෘථුවි අභ්‍යන්තරයේ භූ තැටී ගැටී එසවී යලි ගිලා බැසීම නිසා සෑදුනු මහා විවරයන්හි මේ මහා විල් පිහිටා තිබේ. එම විල් ඉතා තරුණයි. ඒවායෙහි ඉවුරු ඛාදනය වන්නේත් නැත.

ඒවා විශාල ගැඹුරකින් යුක්තයි. බයිකල් විල වසර මිලියන 30 දක්වා පැරණි බව සැලකෙනවා. එය තවත් ගැඹුරු වේවි. එය කිසි විටෙක මුහුදක් සමඟ එක් නොවේ. රතු මුහුද හට ගත්තේද පෘථිවි භූ තලයේ චලනය වීමෙන් ඇති වූ ගැඹුරු විවර නිම්නයක් ජලයෙන් පිරී යෑමෙනි.

මතුපිට පෘෂ්ටයේ විශාලත්වය අනුව පංච මහා විල් වල මිචිගන්-හියුරන් විල ප්‍රමුඛ වේ. එහි මතුපිට පෘෂ්ටය වර්ග කිලෝ මීටර් 117,350කි. එහි ඉවුරේ පලල 8,790 km වේ. මිචිගන් සහ හියුරන් විල් දෙකක් ලෙස ගත් විට විශාලතම විල වන්නේ සුපීරියන් විලයි. එහි මතුපිට පෘෂ්ටය වර්ග කිලෝ මීටර් 82,414කි. ලෝකයේ කුඩාම මුහුද වන කැස්පියන් මුහුදේ මතුපිට පෘෂ්ටය ලෝකයේ විශාලම විල් හයක මතුපිට පෘෂ්ටයන්හි එකතුවටත් වඩා වැඩියි. ලෝකයේ විශාලතම විල කැස්පියන් මුහුද සලකයි.

රුසියාවේ වොල්ගා නදිය කෙලවර වන්නේ මේ විලෙනි. සයිබීරියාවේ බයිකල් විල ලෝකයේ වඩාත්ම ගැඹුරු විලයි. එම ගැඹුර මීටර් 1,637කි. ජල පරිමාව අතින්ද විශාල වන්නේ එයයි. ලෝකයේ දිගම විල වන්නේ ටැන්සානියාවේ ටැන්ගනිකා විලයි. එහි දිග කිලෝමීටර් 660කි. ගැඹුර අනුව එය බයිකල් විලට පමණක් දෙවැනි වේ. ඉපැරණිකම අතින් මුල් තැන ටැන්ගනිකා විලට හිමිවේ.

එය නෞකා ගමනාගමනයට පහසුකම් සලසන නිසා ආර්ථික වශයෙන් වඩා වැදගත් වේ. ලෝකයේ ඉතාම වැඩි උසක පිහිටා ඇති විල වන්නේ ටිබෙට් සානුවේ ඇති මානසරෝව විලයි. ලෝකයේ ඉතා පහලම මට්ටමක ඇති විල වන්නේ මල මුහුදයි. එය ඊශ්‍රාලයට හා ජෝර්දානයට මායිම්ව පිහිටා තිබේ. එය මුහුදු මට්ටමෙන් 418m පහල මට්ටමෙන් පිහිටා තිබේ. එහි ජලයේ අධික ලවණතාවයක් පවතී.

බොහෝ විල් විශාල වැඩිවත්ම ඒවායේ දූපත් ද ඇතිවේ. විලක් තුල ඇති විශාලතම දූපත වන්නේ හියුරන් විලේ ඇති මනිටෝලින් දූපතයි. එම දූපත තුල මනිටෝලින් නම් මිරිදිය විලක් පිහිටා තිබේ.ලෝකයේ විශාලතම ගිනිකඳු විවරයක පිහිටි විලක් වන්නේ සුමාත්‍රා දූපතේ ඇති සෝබාර් විලයි. ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයේ පිහිටි එන්රිකියුලෝ නම් ලාවණික විල කිඹුලන්ගෙන් ගහන එකම ලාවණික විලයි. ඕස්ට්‍රේලියාවේ විශාලතම විල අයර් විල වන අතර එය ලාවණික ගතියෙන්ද යුක්තයි.

අප්‍රිකාවේ ඇති වික්ටෝරියා විල ලෝකයේ තෙවන විශාලම විලයි. දකුණු ඇමරිකාවේ පේරු හා බොලිවියා රාජ්‍යයට මායිම් වන ටිටිකාකා විල මුහුදු මට්ටමින් මීටර් 3,822ක් ඉහලින් පිහිටා ඇත. මෙම විල නෞකා ගමනා ගමනයට ද සුදුසු නිසා ඒ රටවලට ආර්ථික සම්පතකි. ඇමෙරිකාවේ කියාරා නෙවාඩා හි 1,897m ක මුහුදු මට්ටමක ඇති දැකුම්කලු විලක් තිබේ. එය තාහෝර් විලයි. ලෝකයේ ඇති සුපිරිසිදු ජලය තිබෙන්නේ මෙම විලෙහි යැයි ජනප්‍රවාදයක් පවතී. එම විල මීටර් 501ක් ගැඹුරුය. මීට වසර මිලියන 2කට උඩදී උපත ලද බව කියන මේ විල නිසා දහස් ගණන් සංචාරකයන් ආකර්ශණය කර ගනී.

(Visited 1 times, 1 visits today)

Add Comment