වැරදුණොත් තත්පරෙන් මැරෙන රත්තරං බඩු හදන රස්සාවේ ඔබ නොදත් පැත්ත

කොළඹ කාක්කන්ගේ කෑ ගැහිල්ලේ නම් අඩුවක් ඇත්තේම නෑ. හරියට කාක්කෝ නැත්නම් කොළඹකුත් නෑ වගේ. මහ පොළව ගිනි ගන්නා තරමට අව්රශ්මිය. ගිනි ගහන අව්වට දෙස් තිය තියා මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යතාවලට එහා මෙහා දුවනවා. මේ දසුන කොළඹට එන ඕනෑම ජනී ජනයෙකුට හුරු පුරුදුයි.

“සයඞ්…. සයිඞ්…. සයිඞ්…..අපි යන්නේ උඩින් ද ආ….

නාට්ටාමිගේ සද්දෙට හිතත් එක්කම ගැස්සිලා ගියා. මේ ඉතින් ඒ අය තාවකාලිකව උරුමකර ගත්ත තැන්නේ…… මිනිස්සුන්ගේ ඇඟේ හැපි හැපි අපිත් හෙමින් සීරුවේ ඉදිරියට සේන්දු වුණා.

ලෝකුරු වීදියේ කෝවිලේ පූජාව පටන් අරන්.. ඝන්ඨාර නාදයට ඇඟේ මහන්සිය විතරක් නෙමෙයි ජනාකීර්ණ පරිසරයත් සන්සුන් වෙලා.

ලෝකුරු වීදිය, හෙට්ටි වීදිය කියන්නේ ලංකා ඉතිහාසයේ රත්තරන් වැඩවලට ප්‍රසිද්ධම වීදිය. ඒක හැමෝම දන්න කාරණාවක්නේ.. සරලවම කියනවනම් මේ හෙට්ටි වීදියේ සාප්පුවලට රත්තරං බඩු හදන්නේ ලෝකුරු වීදියේ රත්තරං වැඩකරන මිනිස්සු. ඒ සිදුවීම එදා වගේම අදටත් ඒ අයුරින්ම සිදුවෙනවා. මේ විදිහට එදා මේ භූමිය ලෝකූරු වීදිය වුණේ සුද්දන්ගේ කාලයේදීයි. ඉන්දියාවෙන් රත්තරං කර්මාන්තයට ලංකාවට ආපු ශිල්පීන් අතර විශ්ව කියන කුලේ මිනිස්සු  මේ වීදිය වාසස්ථානය කරගත්තු නිසා අදටත් එය රත්තරං බඩු නිර්මාණය කරන බොහෝ අයගේ වාසස්ථානය වගේම, රත්තරං නිර්මාණ කරන වැඩපළවල් බවට පත්වෙලා.

අපි රත්තරනින් හැඩ වුණත් ඒ රත්තරං හැඩකරන ජීවිතවල එතනින් එහාට ලියවුණු ලොකු කතාවක් තියෙනවා. රත්තරන් කියන්නෙ ඉස්තරම් දෙයක්. රත්තරං කියන වචනය පවා අපි විවිධ අවස්ථාවල යොදා ගන්නවා. ආදරේ වැඩි වුණාමත් සමහරු රත්තරං කියනවනේ. එහෙම වෙන්නේ ලෝකේ තියෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරං වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරං නිසා වෙන්න ඇති.

ඒත් රත්තරං එක්කම ජීවිත ගෙවන මේ මිනිස්සුන්ගේ ජීවිත ඒ තරමටම ඉස්තරම්ද? ඒ මිනිස්සුන්ගේ දාඩිය රත්තරන් තරම්ම වටිනවද? ඒ වගේම මේ මිනිස්සුන්ගේ ජීවිතවලට රත්තරංවලට තරම්ම වටිනාකමක් ලැබෙනවාද? එහෙම සොයාගෙන ගිය අපට හිතුන එක දෙයක් තමයි රත්තරන්වලට වඩා විකිණෙන්නෙ මේ ජීවිත කියන එක.

ලෝකුරු වීදියේ කරක් ගහපු අපට මඟපෙන්වන්නෙක් මුණගැසුණා. ඔහුගෙන් ලැබුණු සහයෝගය නම් වචනයෙන් කියන්න බැරි තරම්. අප දැන් සිටින්නේ ලෝකුරු වීදියේ රත්තරං වැඩකරුවන්ගේ වැඩපොළක. ඔබේ මුද්දේ, වළල්ලේ, කරාබුවේ, මාලයේ අපූරු කැටයම් මවන ජීවිතවල ජීවිත කැටයම ඔවුන් දිගහැරියෙ මෙලෙසින්.

සිංහල තමයි අපට හරිය බැහැ…කමක් නෑ පුළුවන් විදිහට සහයෝගය දෙන්නම්.

ප්‍රශ්නය – නම කියමුකෝ?

මම ඇවිල්ලා සෙල්ලප්පා ආචාරී. අපි පැවත එන්නේ විශ්ව කියන කුලයෙන්.

ප්‍රශ්නය – මේ රැකියාව කරන්න පටන් අරන් දැන් කොච්චර කල්ද?

මම ඇවිල්ලා අපේ පරම්පරාවේ මේ රැකියාව කරන තුන්වෙනි පරම්පරාවේ එක්කෙනෙක්. මම රැකියාව කරන්න පටන් අරන් දැන් අවුරුදු 35ක් වෙනවා. අපේ ඉතිහාසය ගැන කියනවනම් ආචාරී කියන්නේ විශ්ව කියන කුලයේ රත්තරං බඩු හදන්නම උරුම වුණ කොට්ඨාසයක්. අපේ ආරම්භය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ.

මුලින්ම අපේ කට්ටිය ලංකාවට ඇවිත් තියෙන්නේ සුද්දා කාලේ. ඒකාලේ ඉඳලම අපි තවමත් ඒ තැනම ඒ රැකියාව කරනවා.

දැන් වගේ නෙමෙයි. සුද්දා කාලේ ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන් කාලේ මේ රස්සාවට ලොකු තැනක් ලැබුණා. කොච්චරද කියනවනම් සුද්දා කාලේ වික්ටෝරියා රැජිනගේ රූපය තියෙන කාසි ආණ්ඩුවෙන් අපට දුන්නා.

දැන් මුකුත් නැහැ. රත්තරං වැඩ කරන කට්ටිය දුප්පත් තත්ත්වයට පත් වෙලා. රත්තරං කිව්වම ලංකාවෙ ඉතිහාසයෙත් ගොඩක්ම ප්‍රසිද්ධ හෙට්ටි වීදිය. සාප්පුවේ ලස්සනට දාලා තියෙන කොට හැමෝම ඒක ලොකු ගාණක් දීලා අරන් යනවා. ඒත් මේ කැටයම් කරන්නේ හෙට්ටිවීදියට එහා පැත්තේ ලෝකුරු වීදියේ දාඩිය වගුරගෙන කරගැට නැගුණ දෑත්වලින් කියලා නෝනලා මහත්වරු දන්නේ ගොඩක්ම අඩුවෙන්. වීදුරු පෙට්ටියේ දාලා තියෙන රත්තරංවලට ලක්‍ෂ ගණන් මිල නියම වුණාට ඒ කැටයම් කපන අපේ දෑත්වලට වැලිකැටයක තරමට වත් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

ප්‍රශ්නය – කතාවට පොඞ්ඩක් බාධා කරනවා. කොහොමද ඔයාලට මේ රත්තරන් ලැබෙන්නේ?

හෙට්ටි වීදියේ කඩවල්වලින් තමයි අපට රත්තරං දෙන්නේ. අපිට කැරට් 24ම දුන්නොත් ඒ ප්‍රමාණයටම අවශ්‍ය භාණ්ඩය ලස්සනට අපි හදලා දෙනවා. අපට රත්තරං දුන්නොත් අවශ්‍ය දේ අපි හදලා දෙනවා. අද අපේ කර්මාන්තය ගැන ගොඩක් දුකින් ඉන්නේ. හැමෝටම අපි රත්තරං බඩු හදනවා. ඒත් අද ලංකා ඉතිහාසයේ ගොඩක්ම දුප්පත්ම කොට්ඨාසයත් අපි. ලෝකෙට ඒක පේන්නේ නැහැ. ලෝකය ඒක දකින්නේ නැහැ.  අපි දවස් තුන්සිය හැට පහේම රත්තරං අතගෑවට අපට කියලා එක රත්තරං කෑල්ලක්වත් අපේ ළඟ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගොල්ලෝ අතපය රත්තරංවලින් වහගෙන ඉන්නවා. ඒවා හදන්න දුක් විඳින අපේ දුක ගැන කවුරුත් අහන්නේ නැහැ.

ප්‍රශ්නය – එතකොට සිංහල අය මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න එකට මොකද කියන්නේ?

ඒකත් කුලයක්. නවන්දන්න කියන කුලයේ අය තමයි රත්තරං බඩු වැඩ කරන්නේ. එයාලා සිංහල. අපි ඔක්කොම ලංකාවෙ එක මිනිස්සු. අපි භාෂාව වෙනස්. ඒත් අපි එක ලේ දුවන අය. අපේ ක්‍රමය ඒකයි. සිංහල මිනිහා හැදුවා, අපි හැදුවා කියලා නැහැ. රත්තරං බර එකයි. දක්‍ෂතාව එකයි. සිංහල රත්තරං වැඩ කරන ගොඩක් අය ඉන්නවා අපේ ආචාරි කියන කුලය වාසගමට අරගත්ත අය.

ගාල්ල, මාතර ගොඩක් අය ඉන්නවා. බෞද්ධ සිංහල අය අපි එක්ක වැඩ කරනවා. අපි අතර ප්‍රශ්න නැහැ. ඒත් ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ කර්මාන්තයේ නියැලිලා ඉද්දී ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා රත්තරං කර්මාන්තය කිරීම ගැන අපි තරයේ විරුද්ධයි

ප්‍රශ්නය – කර්මාන්තය මේ තරම් පහතට වැටෙන්න හේතුව?

හේතුව තමයි දැන් ඩුබායි, ඉන්දියා, ගල්ෆ් ඉඳලා ලංකාවට රත්තරං ගේනවා. අපේ බඩට ගහන්න පටන් ගත්තේ ඔන්න ඔතනින්. තව ඉන්දියාවේ, බොම්බාය, කල්කටාවලින් ඉන්දියන් අය 4000ක් ලංකාවේ රත්තරං වැඩ කරන්න ඇවිල්ලා. ඒ අය මේ අපේ රස්සාව කරන නිසා ලංකාවේ අපේ අයට වැඩ නැති වුණා. අපේ රටේ දක්‍ෂ වැඩකරුවෝ ඉන්නවා කැටයම් කපන ගල් බඳින. දැන් ඒ අයට වැඩ නැහැ. අපේ කට්ටිය දැන් වැඩ නැති නිසා වෙනින් වැඩ කරනවා. පාරවල් සුද්ද කරනවා, ත්‍රීවිල් හයර් කරනවා. විශ්ව කුල කියන අපේ චරිතවලට අද ලංකාවේ තැනක් නැති වෙලා. අපි උපතින්ම රත්රන් වැඩකරුවෝ. අපිව මේ විදිහට පාගලා දාපු එකට ගොඩක් දුකයි. කර්මාන්තයක් කඩා වැටෙනවා කියන්නේ රටත් අස්ථාවර වෙනවා. මේවා ආණ්ඩුවේ වැරදි.

ප්‍රශ්නය – ඒ කියන්නේ දැන් ලොකු ලොකු සාප්පුවලින් වැඩ එන්නේ නැද්ද?

වැඩ එනවා, ඉස්සර තරම් නැහැ. කෙළින්ම අපි ළඟට ආවොත් සාප්පුවෙන් රුපියල් 5000 කියන කරාබු ජෝඩුව අපි 2000 හදලා දෙනවා. භාගෙට භාගයක් සේවාදායකයාට ලාභයි. සාප්පුවෙන් බිල හදන්නේ බිල්ඩින් එකටයි, වීදුරු පෙට්ටියයි, ලස්සනට ඇඳගෙන ඉන්න ගෑනු ළමයින්ට පඩි ගෙවන්නයි, ලොකු ලොකු සාප්පුවල නමට තියෙන ජනප්‍රියත්වයටයි නේ…..

රත්තරං මිල වෙළඳපොළේ කොතැනකත් එකයි. වැඩකුලියේ වෙනසක් කරලා තමයි අපි අඩුවට දෙන්නේ. ලොකු සාප්පුවකින් රුපියල් අසූදාහක පවුමක මාලයක් ගත්තොත්, අපෙන් ඒක රුපියල් විසිදාහක් විතර අඩුවට හදවලා ගන්න පුළුවන්. ඒත් අද මිනිසුන්ට තියෙන ප්‍රශ්නය තමයි අපි ළඟට එන්න බයයි. වගකීමක් නැහැ  කියලා හිතනවා. ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අපිට ලොකු ලස්සන සාප්පු නැහැ. පුංචි කාමර තියෙන්නේ. මිනිස්සු සාප්පු හරහා අපට කියවලා බඩු  හදන්න යොමු වෙලා ඉන්නේ අපිව මිනිසුන්ට විශ්වාස නැති නිසා.

ඒත් අපි දැන් අවුරුදු 35ක 40ක ඉඳලා මේ තැන්වල බඩු හදනවා. කවදාවත් වංචාවක් කරලා නැහැ. අපි හදවතින්ම දෙවියන් එක්ක බැඳිල ඉන්න මිනිස්සු. මේ තැන් දාලා අපිට යන්න තැනක් නැහැ. වංචාකාරයෝ ඉන්නවා. මම නැහැ කියන්නේ නැහැ. ඒත් විශ්වාස, වසර ගණනක් මේ කර්මාන්තයේ ඉන්න, රටේ පාලකයන්ටත් රත්තරං වැඩ කරපු මිනිස්සු අපි. සේවාදායකයාට අපි ගැන තියෙන විශ්වාසය නැති කරලා තියෙන්නේ සාප්පු හිමියෝ. ඩිරෙක්ලි අපේ ළඟ රත්රං බඩු හදාගන්න එනවනම් අපටත් ලාබයි. සේවාදායකයන්ටත් ලාභයි.

ප්‍රශ්නය – එහෙම ඩිරෙක් ඇවිත් බඩු හදන අය ඉන්නවද?

අපෝ ඔව්, ඔය ලොකු සාප්පුවල අපිත් එක්ක සම්බන්ධතා තියෙන අය ඔවුන්ගේ හිතවත් අය කෙළින්ම අපි ළඟට එවනවා. සමහරු මෙතනට ඇවිල්ලම අපිව අඳුරගෙන අපිට කියලා වැඩ කරවගන්නවා.

ප්‍රශ්නය – ලොකු සාප්පුවලට රත්තරං හදන එක පාඩු නැද්ද?

පාඩුයි තමයි. අපි ලොකු සාප්පුවල වැඩ එකක් දෙකක් භාරගන්නේ නැහැ. වැඩ කිහිපයක් එකට භාරගන්නවා. නැත්නම් අපට පාඩුයි.

ප්‍රශ්නය – රත්තරං බඩු හැදිල්ලේදී මොකද්ද මේ කුලියයි වැඩ පාඩුවයි කියන්නෙ?

කුලියයි, වැඩ පාඩුවයි කියන්නේ මොකද්ද කියලා ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. වැඩ කුලිය හැමෝම දන්නව ඇතිනේ. වැඩ පාඩුව දන්නේ නැහැ. අපි රත්තරං බඩුවක් හදනකොට ඒකේ කැටයම් කපන කොට කුඩු ටික හැලෙනවා. චූටි චූටි කෑලි කැපෙනවා. ග්‍රෑම් 10 රත්තරන් බර තිබුණෙත් වැඩ ඉවරවෙනකොට අර ග්‍රෑම් 10 සම්පූර්ණයෙන්ම ගන්න බැහැ. ඒ නිසා තමයි අපි පවුමකට මෙච්චරයි කියලා ගණන් තීරණය කරලා මණ්චාඩියක් මණ්චාඩි 2 අපි වැඩ පාඩුව ගන්නවා.

ප්‍රශ්නය – ඉස්සර රත්රං හැදුවේ රත්රන් වැඩකරුවෝ සියයට සීයක්ම අතින්. දැන් ඇවිල්ලා තියෙනවා මැෂින්කට් කියන කලාවක්. මොකද්ද ඒ ?

සියයට සීයක් අතින් හදන රත්රං කාලයක් පවතිනවා. ඒත් මැෂින් කට් කාලයක් පවතින්නේ නැහැ. ඉස්සර තාත්තා කාලේ අතින් කරපු හැම දෙයක්ම දැන් කරන්නේ මැෂින්වලින්. ඒත් ඒ රත්රන් තාවකාලිකයි. නිතරම කැඩෙනවා. විලාසිතාවට නම් හොඳයි.

ප්‍රශ්නය -සාමාන්‍යයෙන් අතේ කැටයමක් කරන්න කොයිතරම් වෙලාවක් යනවද?

අපිට පෙන්වන ඕනෑම මෝස්තරයක් කැටයම් කපන්න පුළුවන්. අතේ කැටයමක් කපන්න පළපුරුදු අයෙකුට යන්නේ පැය 3ක් වගේ වෙලාවක්. කැටයම් කපන එක හැමෝටම කරන්න බැහැ. හොඳ ඉවසීමක් තියෙන්න ඕනෑ. මෝස්තරය පොඞ්ඩක් හරි එහා මෙයා වුණොත් ආයෙමත් රත්රන් බඩුව උණු කරලා තමයි මෝස්තරය කපන්න වෙන්නේ. ඒ නිසා වරදින්නේ නැතුව මෝස්තරය කපාගන්න ඕනෑ. හුණුවලින් සටහන් කරගන්නත් පුළුවන්. නැත්නම් පුරුදු අය කැටයම් කපන්නේ හිතේ විශ්වාසයෙන්, මනසින්.

සමහරු අරන් එන මෝස්තර කපන්න ලොකු කාලයක් ගත වෙනවා වගේම අපි හොඳ සූදානමක් වෙන්නත් ඕනෑ. සමහර කැටයම් නිර්මාණ කරන්න ගියාම වැරදිලා කිහිප වතාවක්ම උණුකරන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි අපි උත්සාහය අතහරින්නේ නැහැ.

ප්‍රශ්නය – ලෝකේ තියෙන කර්මාන්තවලින් ඔබ හිතෙන්නේ මේ කර්මාන්තය හොඳයි කියලද?

ගොඩාක් හොඳයි. හැබැයි ලෝකේ තියෙන කර්මාන්තවලින් අනතුරු බහුලම රැකියාවත් මේක. ඉස්සර අපි රත්රං බඩු හැදුවේ තඹ, රිදී, රත්තරන්  මේ තුනම එකතු කරලා. දැන් ඒ මිශ්‍රණය නතර කරලා තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන අලුත්ම කෙමිකල් එක තමයි කේඩියම්. ඒක අපට එන්නේ යුරෝප් රටවල්වලින්. “කේඩියම්” කියන කෙමිකල් එක ගොඩක් භයානක කෙමිකල් එකක්. මේක රත්රන් එක්ක උණු කරනකොට පුංචි කුඩක් වගේ සුළඟට යනවා. ඒ කුඩ අපේ ශරීරයට හොඳ නැහැ. මේ කෙමිකල් එක රත්රං එක්ක උණු කරද්දී මුඛ ආවරණයක් අනිවාර්යයෙන්ම පළඳින්න ඕනෑ.

ඒත් ලංකාවේ 60%ක්ම මේ කෙමිකල් එක උණු කරද්දී පරිස්සම් වෙන්නෙ නැහැ. මේ කෙමිකල් එකෙන් පිට වෙන කුඩ ශරීර ගතවුණොත් වසර 2ක් වගේ පුංචි කාලයකදී අපි පිළිකා රෝගී තත්ත්වයට ගොදුරු වෙනවා. දැනට දක්‍ෂ රත්තං නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ම මේ රෝගයට ගොදුරු වෙලා මරණයට පත්වෙලා තියෙනවා. මේක මරණය පෙන පෙනී කරන රැකියාවක්. මේ කෙමිකල් එක සයනයිඞ් සාන්ද්‍රණයක් තියෙන කෙමිකල් එකක්. මේකේ රස කොහෙවත් සඳහන් කරලා නැහැ. රස බැලුවොත් ජීවත් වෙන්නෙත් නැහැ. ඒ තත්ත්පරේටම මැරෙනවා.

තත්පරේට මිනිස්සු මරණ හෙට්ටිවීදියේ අපි නොදන්න රත්රං කතාවේ තවත් බොහෝ දේ ඔබට කියන්න තියෙනවා. මුළු ලෝකෙටම රත්රන් ලස්සනයි. ඒත් ඊට පිටිපස්සේ තියෙන්නේ ඛේදනීය ජීවිතේ අවලස්සනයි. ලස්සනට හදලා තියෙන කරමාලේ, වළල්ල, කරාබු ජෝඩුව හැමෝම ආඩම්බරයෙන් දාගෙන යනවා. ඒක හදන්න විඳින දුකයි, ලැබෙන පුංචි මුදලයි ලෝකෙට පෙන්නේ නැහැ.

ප්‍රශ්නය – රටේ පාලකයන්ටත් රත්රං වැඩ කරලා තියෙනවා කිව්වේ. විශේෂ පුද්ගලයකුට රත්රන් හදලා තියෙනවද?

අපෝ ඔව්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්මයට, එතුමා ජනාධිපති වෙලා සිටි අවදියේදී රත්රංවලින් ආරක්‍ෂාවට යන්ත්‍රයක් හදලා දුන්නා. බොහෝ දෙනා දැකලා ඇති නිතරම එතුමා අතේ තියාගෙන ඉන්න යන්ත්‍රයක්. ඉස්සර ඒ යන්ත්‍රය කතරගම දෙවියන් ආරක්‍ෂාවට අතේ තියාගත්තලු. එතුමාටත් අපල දෝෂවලින් මිදෙන්නට තමයි ඒ යන්ත්‍රය හදලා දුන්නේ. රත්තර යන්ත්‍ර 3, රිදීවලින් යන්ත්‍ර 5 මම එතුමට හදලා දුන්නා.

ප්‍රශ්නය – මේ කර්මාන්තයේදී අනතුරක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එහෙම අනතුරකට මුහුණ දීපු අවස්ථා තියෙනවද

දෙයියනේ කියලා වැඩ කරන්න බැරි තත්ත්වයට අනතුරු වෙලා නැහැ. දැන් ඉතින් ඔක්කොම මැෂින්වලින්නේ. මැෂින්වලට අත ගිහින් වගේ ලොකු අනතුරු මේ රැකියාව නිරත වෙලා ඉදපු අයට වෙලා තියෙනවා. කටුවෙන් වැඩකරනකොට නම් තුවාල ගොඩක් වෙනවා. ඇත්තම කියනව නම් කරන හැම වැඩකදීම පුංචි තුවාලයක් වෙනවාමයි. රත්තර කෝඩියම් මිශ්‍ර කරලා අපි තහඩුවක් හදාගන්න ඕනෑ. ඒ මැෂින් එකේ වැඩ කරන්න ඕනෑ හරිම පරිස්සමෙන්. බැරි වෙලාවත් අත ගියොත් ගියාම තමයි. ඇඟිලි නැතුව තමයි අත එළියට එන්නේ. තාත්තා කාලේ රත්රං උණු කළේ ලාම්පු දැල්ලට බටයක් තියලා පිඹලා. දැන් ඒ වෙනුවට ගෑස් ඇවිල්ලා. ඔක්කොම දැන් තාක්‍ෂණය එක්ක දියුණු වෙලා.

මේ කතා බහ අතර මේ කර්මාන්තයෙම නියැලෙන තවත් තරුණයෙක් මුණගැහුණා. හැබැයි ඔහු වැඩ කරන්නේ දවස් පඩියට. අප ඒ ජීවිතෙටත් එබිලා බැලුවා.මගේ නම රාජු. දැන් අවුරුදු 25 විතර මම කුලියට රත්රං බඩු හදනවා. කරන වැඬේ හැටියට තමයි අපට කුලිය ලැබෙන්නේ. කැටයම් කපන එක තමයි ලොකු වෙහෙසක් අරගෙන කරන්න ඕනෑ. කොච්චර මහන්සි වුණත් ලැබෙන්නේ පොඩි මුදලක්. ඒත් අපි හදන මාලේ, මුද්ද ලොකු සාප්පුවේ විකිණෙන්නේ ලක්‍ෂ ගාණට.

ප්‍රශ්නය – පවුමකට කීයක් ලැබෙනවද?

පවුමක මුද්දකට වගේ ලැබෙන්නේ 800 වගේ මුදලක්. අපි දවසේ හදන කෑලි ගානට තමයි බොස් අපට කුලිය දෙන්නේ. මෙතන පොඩි පොඩි කූට වැඩ නම් ඕන තරම් වෙනවා. සමහර සාප්පුවලින් හොඳ කැරට් 24 රත්තරං බඩු මකල කැරට් 22 කරලා රත්රං බාල කරලා බාර් එකක් හදලා අපට දෙනවා අවශ්‍ය බඩුව හදන්න. පාරිභෝගිකයා ඉතින් රැවටෙනවා. බැංකුවක තියන්න ගියාම තමයි වැඬේ අහුවෙන්නේ. ඒත් ඒ මිනිස්සු පාඩුව විඳගෙන ඉන්නවා. අපට ඉතින් ඕවා වැඩක් නැහැ.

අපි වැඩ කරන්නේ කුලියටනේ. තැලිමාල, සාමාන්‍ය මාල, වළලු, මුදුවල මෝස්තර වැඩි වෙනකොට වැඩ කුලියත් වැඩි වෙනවා. චේන්වලට නම් අපි අය කරන්නේ අඟල් ගානට. අඟලකට අපට රුපියල් 200 වගේ ගාණක් ලැබෙනවා. දැන් කර්මාන්තේ වැටිලා. අපි ජීවත් වෙන්නේ අමාරුවෙන්. වැඩ එන්නේ නැහැ. මෙහෙම ගියොත් අපිට බොන්න වෙන්නේ වස. හිතේ ආවේගයෙන්ම කතාව හමාර කරලා රාජු අපෙන් සමුගත්තා.

රත්රං එක්ක මුළු ජීවිත කාලෙම ගනුදෙනු කළත් මේ මිනිස්සුන්ගේ ජීවිත රත්තරං නෙමෙයි. අනුන්ගේ රත්රං එක්ක ඔට්ටු වෙන තවත් චරිතයක් අපේ සංචාරයේදී අපට මුණගැහුණා.

මම ජේ. කුමාර්, මම ඇවිල්ලා විශ්ව කුල පරපුරේ. අපි පරම්පරාවෙන්ම රත්රං බඩු හදන අය. ඉස්සර අපි පුටු උඩ ඉඳගෙන වැඩ කළේ නැහැ. අපි වැඩ කළේ බිම වාඩිවෙලා. ඒ කාලේ අපි මේ කර්මාන්තයට ගරු කළා. අද ගරු කරන්නේ නැහැ. තුට්ටුවටම දාලා. ඉස්සර අපි කැරට් බර බැලුවේ ගලෙන් හූරලා. දැන් ඇවිල්ලා ඔක්කොම මැෂින්. මගේ තාත්තා, සීයා කාලේ ජනතාවට හරියටම 22 බර දුන්නා. එතකොට මැෂින් නැහැ. එදා තිබුණේ කැරට් 22 විතරයි. ඉස්සර අපි බඩු හැදුවේ රත්තරං, තඹ රිදී එකතු කරලා. ඒ බඩු අවුරුදු 30ක් පාවිච්චි කළත් තවමත් ශක්තිමත්. උණුකරත් බර එහෙමමයි. දැන් ගොඩක් තියෙන්නේ මැෂින්වලින් හදන බඩු. දෙයක් කියන්නම්. වසර 30 අද්දැකීමෙන් කියන්නේ. දැන් ලංකාවේ තියෙන රත්තරං බාලයි.

ඉස්සර අපි හැදුවේ ඩයමන් චේන්, බැරල් මුදු, කොළ අත්තේ මුදු, ඉස්සර කොළඅත්තේ මුද්ද හැදුවේ මඟුල් මුද්ද විදිහට. ඒත් දැන් ඒ විලාසිතා නැහැ. දැන් රත්තරං වල ඒ තත්ත්වය නැහැ. තත්ත්වය බාල වෙලා. මැෂින්වලින් රත්තරං හදන්න ගත්තට පස්සේ 80% අපිට වැඩ නැති වුණා. ඉස්සර අපි අතේ හදපු චේන් අවුරුදු 20ක් 30ක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් තියෙන මැෂින් කට් උපරිම අවුරුද්දයි, දෙකයි, ගොඩක් අය පරණ රත්රං දීලා අලුත් මැෂින් කට් විලාසිතාවලට මාරු කරනවා. රැවටෙන්න එපා. මැෂින්කට් මෝස්තර මුදල් හදිසියට බැංකුවකවත් තියන්නවත් බැහැ. නියම මිල ලැබෙන්නේ නැහැ.

අපිට පවුම් බාගේ මුද්දකට වැඩ කුලිය දෙන්නේ සාප්පු වලින් 250යි. සාප්පුකාරයා ඒක විකුණන්නන් 5000ට. අපිට රත්තරන් දුන්නොත් පවුමේ මුද්දක් හදලා දෙන්නේ අපි රු. 500කට, ඔය ලොකු නම් තියෙන අය අපිට දෙන්නේ 500ක් 1000ක් විතර. එයාලා අහස උසට තට්ටු බිල්ඩින් ගහනවා. අපි තාම බිම වාඩිවෙනවා.

අනුන්ගේ රත්තරංවල වගකීම හිසමත දරාගෙන, ගනුදෙනු කරන මේ ජීවිතවල ලියවිච්ච කතාව හරිම පුදුමාකාරයි. ඔවුන්ට සමු දීලා අපි ආපසු හැරුණා. කියන්න තවත් බොහෝ දේ ඉතිරි වෙලා තියෙනවා.රත්තරං බඩු නිර්මාණය කරනවා කියන්නේ ඉතා සියුම්ව, කල්පනාවෙන් කළ යුතු දෙයක්. රත්තරං හදන තැන කුඩු ටික පවා පරිස්සම් කරනවා.

අපි හැමෝටම කියන්නේ රත්තරං ගැන නොදැන හෙට්ටි වීදියේ සාප්පුවලින් රත්තරං ගන්න යනවනම් ඒ ගනුදෙනුව හොඳ සිහිබුද්ධියෙන් කරගන්න. සමහර වෙලාවට ඔබට නොදැනෙන හෙට්ටිවීදියේ කෙරෙන කූට වැඩ ගැන අපට හිතන්නත් අමාරුයි. අපි හැරෙන කොට ඔවුන් අපිව පොළඹවගෙන හමාරයි. කරන්න දෙයක් නැහැ. රත්තරං එක්ක ගනුදෙනු කරන්නේ පරිස්සමෙන්.

විශේෂ ස්තුතිය : ගනේෂන් ආචාරි විග්නේෂරම්, ගුණසේකරම්, ත්‍යාගරාජම්, විනයාගමූර්ති යන අයට.

සටහන : නදීශා අතුකෝරළ
ලපි මුලාශ්‍රය – ලංකාදීප

Add Comment