විවාහයට පෙර බැලිය යුතුම පොරොන්දම – සෞඛ්‍ය පොරොන්දම

තරුණියක් සහ තරුණයෙක් යුග දිවියට පිවිසීමට පෙර වෛද්‍යවරයකු හමු වී උපදේශනය ලැබීම අද බොහෝ රටවල දැකිය හැකිය. මෙය ඇත්ත වශයෙන්ම “වෛද්‍ය පොරොන්දම්” ගැලපීම හෝ “සෞඛ්‍ය පොරොන්දම්” බැලීමක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙම වෛද්‍ය උපදේශනයේදී ඔවුන්ගේ අනාගත පවුල් ජීවිතය, විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන උපදෙස් ලබාදීම සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙහිදී කෙරෙන ස්වාභාවිකම සහ වැදගත්ම කාර්යභාරය වන්නේ ඒ දෙදෙනා තුළ යම් සෞඛ්‍යමය නොගැලපීම් ඇත්දැයි විමසීම සහ එවැනි ගැටලු විසඳා ගැනීමට උදව් උපකාර කිරීමය.

වෛද්‍යවරයා විසින් දෙදෙනාගේම පවුල්වල සෞඛ්‍ය ඉතිහාසය විමසා බලනු ඇත. ඔවුන්ගේ පවුල් තුළ දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය, අසාත්මිකතා, අධික රුධිර පීඩනය, ආර්තරයිටිස්, පිළිකා වැනි රෝග පැවතියේ නම් ඔවුන්ට ද අනාගතයේදී එවැනි රෝගවලට ලක්වීමට පවත්නා අවදානම මෙහිදී පෙන්වා දෙනු නිසැකය.

එවැනි ආපද්‍රවකින් මිදීමට ගත යුතු පියවර සහ අවදානම අවම කර ගත හැකි පියවර පිළිබඳ උපදෙස් ද හිමි වනු ඇත. යම් ලෙසකින් ගැහැනු ළමයාගේ පාර්ශවයේ සමීප ලේ ඥාතී කාන්තාවකට (මවට, පුංචි අම්මාට, ආච්චිට) පියයුරු පිළිකාවක් වැලඳී තිබුනේ නම් ඇයට ද ඒ පිළිබඳව විමසිලිමත් වීමේ අවශ්‍යතාව හුවා දක්වනු ඇත.

එසේම කිසියම් සමීප පවුලක දරුවකු විකෘති හෝ ආබාධිත හෝ දරුවකු ලෙස උපත ලබා තිබුණහොත් එයට හේතු සෙවීමද අවශ්‍යය. සමහර විට ජාන පරීක්ෂණයක් සිදු කර එවැනි අවදානමක් ඇති නැති බව විමසිම ද සිදුවිය හැකිය.

විවාහයට පෙර යුවළක් මෙවැනි උපදේශන ලැබීම ශී‍්‍ර ලංකාවෙහි දැකිය නොහැකිය. එය සිදු වෙතොත් ඒ ඉතා කලාතුරකිනි. බොහෝවිට සිදුවන්නේ දරු පිළිසිඳීමක් ඇති වූ පසු කාන්තාව වෛද්‍ය සුපරික්ෂාවට ලක් වීමය. ඔවුන්ට සහ බොහෝවිට කුස තුළ පිළිසිඳුන බිළිඳාට ඒ වනවිටත් යම් අවැඩක් සිදුව තිබිය හැකිය. කෙසේ වෙතත් විවාහ දිවියට පිවිසීමට පළමුව යුවළම විශේෂයෙන්ම කාන්තාවක් විමසා බැලිය යුතු සෞඛ්‍ය ගැටලු කිහිපයකි. ඉන් කිහිපයක් මෙසේය.

මුත්‍ර තුළ ඇල්බියුමින් පවතී දැයි විමසන්න

මුත්‍ර පරීක්ෂණයක් මඟින් මුත්‍ර තුළ ඇල්බියුමින් (ප්‍රෝටීන්) පවතී දැයි සොයා බැලීම වැදගත් වන්නේ සමහරවිට ළමා කාලයේ ඇති වූ මුත්‍ර ආසාදන සහ වකුගඩු රෝග (උදා. නෙප්‍රයිටිස්) හේතුකොට ඇති වූ යම් හානි පවතී දැයි විමසීමටය. එවැනි තත්ත්වයක් ඇත්නම් ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීම වැදගත්ය.

රුධිරය තුළ ප්‍රමාණවත් ‘හිමොග්ලොබින්’ ප්‍රමාණයක් ඇත්දැයි සොයා බලන්න

රුධිර පරීක්ෂණයක් මඟින් ලේ තුළ පවතින රතු රුධිර සෛල ප්‍රමාණය සහ ඒවායෙහි අඩංගු හිමොග්ලොබින් (ඩ්.ඕ) ප්‍රමාණය විමසා බැලීම් මඟින් තමන් නීරක්තියෙන් පෙළෙන – නොපෙළෙන බව සොයාගත හැකිය. එවිට දරු පිළිසිඳීමට පෙර අවශ්‍ය යකඩ අඩංගු ආහාර වැඩිපුර ගැනිම හෝ යකඩ පෙති හෝ පැණි හෝ වශයෙන් ලබාගෙන නීරක්තිය අවම කර ගැනීමට පුළුවන. එය සාමාන්‍ය ජීවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නංවාලීමට මෙන්ම ගර්භණී සමයේ සංකූලතා වැළැක්වීමට ද හේතු වෙයි.

රුධිරගත සීනි ප්‍රමාණය සොයා බලන්න

බොහෝ තරුණ තරුණියන් තමන්ගේ වැරදි දින චර්යාව (වැරදි ආහාර හා ව්‍යායාම නොගැනීම) නිසා තමන් නොදැනුවත්වම දියවැඩියා රෝගයෙන් පෙළෙති. දරු පිළිසිඳීමට ලක් වූ විට කාන්තාවගේ දියවැඩියා තත්ත්වය දරුවාට බලපෑම නිසා දරුවා උපතින්ම දියවැඩියා රෝගියකු බවට පත්විය හැකිය. එහෙයින් විවාහයට පෙර විශේෂයෙන්ම දරු පිළිසිඳීමකට ලක්වීමට පෙර දියවැඩියා තත්ත්වයක් ඇත්නම් එය පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.

තැලසීමියා අවදානම නැති කරගන්න

අප අතරින් සමහරකු තුළ සුළු තැලසීමියයා සාධකය පවතියි. විවාහ වන දෙදෙනා තුළම සුළු තැලසීමියා සාධක ඇත්නම් උපදින දරුවෙකු මහා තැලසීමියා තත්ත්වයට පත්විය හැකිය. එය දරුවාට මෙන්ම පවුලටම අභාග්‍යයකි. එහෙයින් විශේෂයෙන්ම තැලසීමියා අවදානම පවතින ප්‍රදේශවල තරුණ තරුණියන් තමන් තුළ මෙම සුළු තැලසීමියා තත්ත්වය පවතී දැයි සොයා බැලිය යුතුය. යම් ලෙසකින් තමන් තුළ සුළු තැලසීමියා සාධකය පවතී නම් විවාහ විය යුත්තේ එවැනි සාධකයක් රහිත අයෙකු සමඟ පමණය.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ද විමසන්න

හෘදයාබාධ තත්ත්වයක් තරුණ සහ මැද වයසේ දී ඇතිවීම වැළැක්වීමට මෙය ඉතා වැදගත්ය.

දෙදෙනාගේම රුධිර පීඩනය මැනගන්න.

අධික රුධිර පීඩනය, ගර්භණී සමයේදී දරුණු සංකූලතා ඇති කරයි. එහෙයින්ම රුධිර පීඩනය ගැන දැනුමක් ලබාගෙන එය යම් ඉහළ මට්ටමක් ගන්නේ නම් පාලනයට පියවර ගැනීම වැදගත්ය.

රුධිර ගණය සොයා බලන්න

දෙදෙනාගේ රුධිර ගණ අතර යම් නොගැලපීමක් ඇත්ද යන්න ද සොයා බැලීම වැදගත්ය. පිරිමි සහායකයා ධන රුධිර ගණයක් ද කාන්තාව ඍණ රුධිර ගණයක් ද ඇත්නම් යම් ගැටලු ඇතිවීමේ අවදානමක් පවතියි. මෙම අවදානම අවම කිරීමට ද දැන් වෛද්‍යමය ප්‍රතිකර්ම ඇත.

ඥාති විවාහ නම් එපා

ලේ ඥාතීන්, විශේෂයෙන්ම නෑනා – මස්සිනා අතර විවාහ කිසිම ලෙසකින් වත් අනුමත කළ නොහැක්කේ බොහෝවිට උපදින ළදරුවන්ට අන්ධභාවය, බිහිරි බව, හෘද විකෘතිතා, ස්නායු විකෘතිතා ඇතුළු විකෘති තත්ත්ව ගණනාවක් ඇති කළ හැකි බැවිනි.

මානව ප්‍රතිශක්ති ඌනතා හා හෙපටයිටිස් බී ඇත්දැයි විමසන්න

මානව ප්‍රතිශක්ති ඌනතා (එච්.අයි.වී) ආසාදනය සහ හෙපටයිටිස් බී ආසාදනය යන රෝග තත්ත්වයන් දෙකම රුධිරය හා ලිංගික ස්‍රාව හරහා එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝවිය හැකිය. එය කුස තුළ වැඩෙන දරුවාට ද වැලඳිය හැකිය. මෙයට අමතරව හර්පීස්, උපදංශය හා ගොනෝරියාව (සුද බිංදුම) වැනි සමාජ රෝග ඇත්ද යන්න පරීක්ෂා කර ගැනීම ද වැදගත් වන්නේ තම තමන්ට පමණක් නොව අනාගත බිළිඳාට ද ඒවා ගැටලු ඇති කළ හැකි බැවිනි.

(Visited 1 times, 4 visits today)

Add Comment